ෂාෆ්ටර් ගැටගැසූ කේබල්වල පිටස්තරයෙකුගේ සලකුණු හසුවුණා – CID ය දන්වයි

1671262976 shafter muder L

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ  අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව රජයේ රස  පරීක්ෂකවරයාට යැවූ නඩු භාණ්ඩවල මරණකරුට අමතරව ආගන්තුකයකුගේ ජෛව සාම්පලයක් (ඩී එන් ඒ) ඇතුළත්ව ඇතැයි රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වන බව අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ ඊයේ (14) කරුණු වාර්තා කරමින් සදහන් කළේය.‍

මරණකරුගේ ගෙලේ තිබූ කේබලයේත්, මරණකරුගේ දෑත ගැට ගසා තිබූ ස්ලිප් පටියේත් සහ මරණකරු භාවිත කළ වතුර බෝතලයේත් මෙම ඩී එන් ඒ රටා තිබී රජයේ රස පරීක්ෂකවරයා විසින් හඳුනාගනු ලැබ ඇති බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.  මෙම සිද්ධියට අදාළ සැකකරුවන් සිටිත් නම් හෝ එම අපරාධ ස්ථානයට මුලින් පැමිණි අයවලුන් අදාළ ඩී එන් ඒ රටා සමග සැසඳීම සඳහා ලබන 20 වැනිදා තමන් වෙත යොමු කරන ලෙසට රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව, අදාළ අපරාධ ස්ථානයට මුලින් ගිය බොරැල්ල සුසාන භූමියේ සේවකයන් වන මීඩ්න් නිලාම්, මඩසාමි ජෝන් ඇන්ටන් සහ මරදාන පොලීසියේ සොකෝ නිලධාරීන් දෙදෙනකු ලබන 20 වැනිදා රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඩී එන් ඒ ලබාදීමට නියෝගයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව අධිකරණයෙන් එම නියෝග දුන්නේය.


මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ශරීර කොටස් කොළඹ මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයෙහි සාම්පල් වශයෙන් තබාගෙන ඇත්නම් අධිකරණය දැනුම් දෙන තෙක් ඒවා විනාශ කිරීමට හෝ වෙනස් කිරීමට හෝ පියවර නොගන්නා ලෙසට ද මහේස්ත්‍රාත්වරිය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතා වෙත නියෝගයක් නිකුත් කළාය.

එසේම සාම්පල් වශයෙන් තබාගෙන ඇති මරණකරුගේ ශරීර කොටස් අධිකරණයේ අවසරයකින් තොරව විනාශ නොකරන ලෙසත් ඒවා ඉතාමත් සුරක්ෂිතව තබාගන්නා ලෙසත් රජයේ රස පරීක්ෂකවරයාට ද අධිකරණයෙන් නියෝගයක් නිකුත් කෙරිණි. කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඉකුත් 2022 දෙසැම්බර් මස 15 වැනිදා පස්වරු 3.30ට ඇතුළත් කළ මරණකරුගේ ඇඳ ඉහපත් අංකය සහ මරණකරු සම්බන්ධයෙන් සිදු කළ සියලු පරීක්ෂණ වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට නියෝගයක් නිකුත් කළාය.

මරණකරුගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට ප්‍රථම, මරණ පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේ සහ මරණ පරීක්ෂණයෙන් පසුව ලබා ගත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළාය.


එමෙන්ම එදින මෙම සිද්ධියට අදාළ ඡායාරූප ලබාගත් බොරැල්ල සොකෝ නිලධාරියා සතූ සියලු ඡායාරූප ද අධිකරණයට ලබාදෙන ලෙසද අධිකරණය නියෝගයක් නිකුත් කළේය. මරණකරුගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා මෝසමක් මගින් මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවන ලෙස කළ ඉල්ලීමකට අනුව නඩුව ඊයේ (14) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.

මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා මෙසේ ප්‍රකාශ කළේය. ‘ස්වාමිනි, මරණකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදුන් ඇඳ ඉහපත් අංක මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කර නැහැ. ඉකුත් 2022 දෙසැම්බර් මස 15 වැනිදා සවස 3.30 ට පමණ මරණකරු ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා. ඒ අවස්ථාවේදී ඔහු ස්කෑන් පරීක්ෂණ දෙකකට යොමු කර තිබුණා. ඒ වගේම නලින් නමැති නිලධාරියකු සහ සොකෝ නිලධාරීන් මෙම මරණකරුගේ ඡායාරූප ලබා ගත්තා.  ඒ වගේම රජයේ රස පරීක්ෂක කාර්යාලයේ මෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මරණකරුගේ මෘත ශරීරයේ සාම්පල් කොටස් තිබෙනවා. මේ සියල්ල සුරක්ෂිත කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය ජනාධිපති නීතීඥවරයා මෝසමක් මගින් කළ ඉල්ලීම්වලට නියෝග ලබා දෙමින් සිද්ධියට අදාළ පරීක්ෂණය ලබන 17 වැනිදා තෙක් කල් තැබීය.
නිමන්ති රණසිංහ 

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top