ඡන්දය ලබන අවුරුද්දේ – රනිල්ගේ නිගමනය

election next ranil

ඉයේ (18) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවති රොටරි සමාජ සමුළුවක් අමතමින් ජනපති රනිල් වික්‍රමසිංහ කළ කතාවේදී ආර්ථික ගැටලු හමාර වනතුරු ඉවසා සිටින ලෙසත්  ඉන්පසු ලබන වසරේ (2024) ජනතාවගේ ඡන්ද අයිතිය අනුව සුදුසු අය තෝරන්නට ඡන්ද ප්‍රකාශ කරන්නට අවස්ථාව උදාකර දෙන බව පැවසුවේය. පළාත් පාලන මැතිවරණය ගැන කිසිවක් නොකී නමුත් ඔහු ඉඟි කළේ දැන්ම ඡන්දය තියන්න බෑ යන්නයි.
රොටරි දිස්ත්‍රික් අංක 3220 විසින් සංවිධානය කරන ලද සමුළුවකට එක්වෙමින් ඔහු මේ කතාව කළේය.
ආර්ථිකය යළි ප්‍රකෘත්මත්වීමත් සමග ලබන වසරේ දී තම ඡන්දය භාවිතා කර, රටේ සිදුකළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කර ගැනීමට අවැසි පසුබිම ජනතාවට සකස් වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

රටේ ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත්වනු ඇති බවට මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා මේ වසර අවසන් වීමට පෙර රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රියව ක්‍රියාත්මකවන සමාජයක් ගොඩනඟන බවට ද සහතික විය.

එමෙන්ම රටේ ආර්ථික ගැටලු විසඳා ගැනීමත් සමග තවදුරටත් ජනතාවට පීඩාවට පත්වීමට ඉඩ නොතබන බව අවධාරණය කළ ජනාධිපතිවරයා රජය සියලු තීන්දු තීරණ ගන්නේ ඒ වෙනුවෙන් බව ද කියා සිටියේය.

තමන් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයෙකු බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නමුත් රටකට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පළමුව මහජන සාමය අවශ්‍ය බවත්, ඒ සඳහා නීතිය හා සාමය පවත්වා ගැනීම අවශ්‍ය බවත් සඳහන් කළේය.

රටක නීතිය හා සාමය නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය නොහැකි අතර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දෙවනුව ස්ථාවර ආර්ථිකයක් අවශ්‍ය බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නීතිය, සාමය සහ ආර්ථික ප්‍රකෘතිය නොමැති රටක ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය නොව අරාජිකත්වය බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට අරාජිකත්වයේ මාවතේ පහළට ගෙන යාමට තමා කිසිවිටක ඉඩ නොතබන බවත්, රටේ නීතිය හා සාමය සහතික කිරීමට කැපවන බවත් අවධාරණය කළේය.

ආර්ථිකය යළි ප්‍රකෘත්මත්වීමත් සමග ලබන වසරේ දී තම ඡන්දය භාවිතා කර, රටේ සිදුකළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කර ගැනීමට අවැසි පසුබිම ජනතාවට සකස් වනු ඇති බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

පෝලියෝ මර්දන ව්‍යාපාරය, සුනාමිය සහ ඖෂධ හිඟය ඇතුළුව පසුගිය කාලය තුළ ඇති වූ අර්බුදකාරී අවස්ථාවන්හිදී මෙන්ම වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ද රොටරි සමාජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහය මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

සමුළුවේ සභාපති සහ රොටරි සමාජයේ හිටපු සභාපති අනීෂා ධර්මදාස, ශ්‍රී ලංකා සහ මාලදිවයින ඇතුළත් දිස්ත්‍රික් 3220හි ආණ්ඩුකාර පුබුදු ද සොයිසා, දිස්ත්‍රික් උපදේශක සහ හිටපු සභාපති ප්‍රදීප් අමිර්තනායගම් යන මහත්ම මහත්මීහු ද මෙහිදී අදහස් දැක්වූහ.

ජාත්‍යන්තර රොටරි සභාපති ජෙනිෆර් ජෝන්ස් මහත්මියගේ නියෝජිත වැලරි වේෆර් මහත්මිය, හිටපු දිස්ත්‍රික් ආණ්ඩුකාරවරු, දිස්ත්‍රික් හිටපු සභාපතිවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය සැපයූ විස්තරයෙනි)

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top