ගංජා භාවිතය නීත්‍යානූකූල රටවල් මොනවාද?

ගංජා භාවිතය නීත්‍යානූකූල රටවල්

ගංජා බෝගය අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමේ හැකියාව සොයාබැලීමට විශේෂඥ කමිටුවක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර අයවැයෙන්  යෝජනා කිරීමත් සමග ගංජා පිළිබඳ කතාබහ යළි කරලියට පැමිණ තිබේ. 

ගංජා අපයනය සම්බන්ධයනේ පසුගිය දිනවල දිගින් දිගටම හඬක් නැඟුවේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ය.

ගංජා අපයනය කිරීමෙන් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ඉපයිය හැකි ද, ඒ සඳහා ජාත්‍යන්තර සම්මුතිවලට එළෙඹිය යුතු ද, ගංජා සඳහා විදෙස් රටවලින් විශාල ඉල්ලුමක් තිබේ ද යන්න කතාබහට ලක්වන කාරණා ය.

ගංජා භාවිතය නීත්‍යානූකූල රටවල් මොනවා ද?

එක් එක් රට අනුව ගංජාවල වෛද්‍ය සහ විනෝදාත්මක භාවිතාව සඳහා නීත්‍යානුකූලභාවය, එය සන්තකයේ තබා ගැනීම, බෙදා හැරීම සහ වගා කිරීම සහ (වෛද්‍යමය හේතූන් මත) එය පරිභෝජනය කළ හැකි ආකාරය සහ එය කුමන වෛද්‍ය තත්ත්වයන් සඳහා භාවිතා කළ හැකි ද යන්න වෙනස්වේ.

බොහෝ රටවල මෙම ප්‍රතිපත්ති එක්සත් ජාතීන්ගේ ගිවිසුම් තුනකින් නියාමනය කරනු ලැබේ: ඒවා නම් 1961  මත්ද්‍රව්‍ය පිළිබඳ තනි සම්මුතිය, 1971 මනෝචිකිත්සක ද්‍රව්‍ය පිළිබඳ සම්මුතිය සහ 1988 මත්ද්‍රව්‍ය හා මනෝවිද්‍යාත්මක ද්‍රව්‍යවල නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි සම්මුතිය යි.

2020 දී ගංජා තනි සම්මුති ගිවිසුම යටතේ උපලේඛන I යටතට ගැනෙන මත්ද්‍රව්‍යයක් ලෙස වර්ගීකරණයකර ඇත. එයින් අදහස් කරන්නේ සම්මුතියට අත්සන් කරන පාර්ශවයට ඒවා වෛද්‍ය භාවිතාවට ඉඩදිය හැකි නමුත් එය අපයෝජනයට ලක්වීමේ බරපතල අවදානමක් සහිත ඇබ්බැහිකාරක මත්ද්‍රව්‍යයක් ලෙස සැලකෙන බව ය.

බොහෝ රටවල විනෝදාත්මක අරමුණු සඳහා ගංජා භාවිතාව තහනම් ය. කෙසේ වෙතත්, බොහෝ දෙනෙක් සරල සන්තකයේ තබාගැනීම සාපරාධී නොවන වරදක් බවට පත්කිරීම සඳහා අපරාධමය දඬුවම් කිරීම ඉවත් කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත.

තවත් සමහරක් ආසියාතික සහ මැදපෙරදිග රටවල්වල ගංජා කුඩා ප්‍රමාණයක් පවා සන්තකයේ තබාගැනීමට වසර කිහිපයක සිර දඬුවම් ලබාදීමට තරම් ඉතා දරුණු නීති ක්‍රියාත්මකකර තිබේ.

“ඖෂධීය ගංජා” යනු විවිධ නිධන්ගත රෝග තත්ත්වයන්ට සහ වේදනාවට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා වන්නකි.

වෛද්‍ය නිර්දේශය යටතේ ඇල්සයිමර් රෝගය, ආතරයිටිස්, පිළිකා, මානසික අවපීඩනය, කාංසාව, පාකින්සන්, අපස්මාරය සහ අනෙකුත් ස්නායු රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගංජා යොදාගැනේ.

විනෝදාත්මක ගංජා වාණිජමය වශයෙන් විකිණීම රටවල් තුනක (කැනඩාව, තායිලන්තය සහ උරුගුවේ) රට පුරා නීතිගතකර ඇත.

ගංජා, ලෝකයේ බහුලවම භාවිතා වන නීතිවිරෝධී මත්ද්‍රව්‍යය වේ.

2013 දී උරුගුවේ රාජ්‍යය ගංජා විනෝදාත්මක භාවිතාව සඳහා නීතිගත කළ පළමු රට බවට පත්විය.

එසේ සිදුකළ අනෙකුත් රටවල් වන්නේ කැනඩාව, ජෝර්ජියාව සහ දකුණු අප්‍රිකාව යි. එක්සත් ජනපදයේ ප්‍රාන්ත 18ක, ප්‍රදේශ දෙකක හා කොලොම්බියා දිස්ත්‍රික්කයේ විනෝදාත්මක භාවිතාව සඳහා ගංජා භාවිතා කළ හැකි ය. කෙසේ නමුත් ෆෙඩරල් නීති අනුව ගංජා නීති විරෝධී ලෙස පවතියි.

කැනඩාවේ ගංජා භාවිතාව, සන්තකයේ තබා ගැනීම, විකිණිම ඇතුළු ඕනෑම දෙයකට අවසරය ඇති අතර, ජොර්ජියාවේ සහ දකුණු අප්‍රිකාවේ භාවිතාවට හා සන්තකයේ තබාගැනීමට අවසර ඇතත් විකිණීමට අවසර නැත.

ජැමෙයිකාවේ ග්‍රෑම් 57ක් දක්වා සන්තකයේ තබාගැනීම සාපරාධී නොවන වරදක් බවට පත්කර ඇති අතර පැල 5ක් පමණ වගා කිරීම ද නිත්‍යානූකූල වෙයි.

ඉතාලියේ ද සාපරාධී නොවන වරදක් බවට පත්කර ඇති අතර පෞද්ගලික භාවිතාව සඳහා කුඩා ප්‍රමාණයෙන් වගාවට ඉඩ ඇත. මෝල්ටාවේ සහ මෙක්සිකෝවේ සන්තකයේ තබා ගැනීමට අවසර ඇතත් විකිණීම සඳහා අවසර ලබාදී නොමැත.

නෙදර්ලන්තයේ බලපත්‍රලාභී කෝපිහල්වල පරිභෝජනයට සහ විකිණීමට අවසර ඇත. ග්‍රෑම් 5ක් දක්වා සන්තකයේ තබා ගැනීම සාපරාධී නොවේ. වාණිජ නොවන භාවිතාව සඳහා පැල 5ක් දක්වා වගා කිරීම කිරීමට හැකි ය.

තායිලන්තයේ සන්තකයේ තබා ගැනීම, අලෙවිය හා ගෘහ ආශ්‍රිත වගාව සඳහා අවසර ඇත.

උරුගුවේ රාජ්‍යයේ ගංජා භාවිතාව නිත්‍යානුකූලවුවත් විදේශකයින්ට අලෙවිය තහනම්ය. පැල 6ක් පමණ වගාවට අවසර ඇත.

බෙල්ජියමේ ග්‍රෑම් 3ක් හෝ එක පැලයක් වගාවට අවසර තිබේ.

කොලොම්බියාවේ ග්‍රෑම් 22ක් දක්වා සන්තකයේ තබා ගැනීම සාපරාධී නොවන අතර පෞද්ගලික භාවිතාව සඳහා පැල 20ක් පමණ වගාවට අවසර ඇත.

ඉන්දියාව, පාකිස්ථාන, නේපාලය, භූතානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය වැනි දකුණු ආසියාතික රටවල්වල මෙන්ම මැදපෙරදිග කලාපයේ සියලු රටවල ගංජා භාවිතාව තහනම් ය.

ජපානය හා නවසීලන්තය වැනි රටවල ද ගංජා භාවිතාව තහනම් වේ.

2020 දී ගෝලීය ගංජා වෙළඳපොළ ඩොලර් බිලියන 20.47ක් විය. 

ගෝලීය ගංජා වෙළඳපොළේ වටිනාකම 2021 දී ඩොලර් බිලියන 28.06ක් වූ අතර 2028 වන විට වෙළඳපොළ ප්‍රමාණය බිලියන 197.75ක් දක්වා ඉහළ යනු ඇති බවට පුරෝකථනය කර ඇත.

ලෝකයේ විශාලතම ගංජා වෙළඳපොළ කුමක්ද?

2021 දී අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක් ගංජා වෙළඳපොළට එක්විය. විශේෂයෙන්ම වෙළඳපොළ ප්‍රමාණය අනුව නිව්යෝර්ක් කැලිෆෝනියාවට පමණක් දෙවැනි වනු ඇතැ යි අපේක්ෂා කෙරේ. කැලිෆෝනියාව යනු ලොව තනි විශාලතම ගංජා වෙළඳපොළ වන අතර එය කැනඩාවේ සමස්ත වෙළෙඳපොළටම වඩා විශාල ය.

උතුරු ඇමරිකාවේ නීත්‍යානුකූල ගංජා වෙළඳපොළ 2021 දී ඩොලර් බිලියන 12.4ක් ලෙස අගය කරන ලද අතර 2022 සිට 2030 දක්වා 15.3%ක සංයුක්ත වාර්ෂික වර්ධන වේගයකින් (CAGR) ක්‍රමයෙන් ඉහළ යනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

වැඩිපුරම ගංජා විකුණන රට කුමක්ද?

අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව 2020 දී ඩොලර් බිලියන 18.1ක් වටිනා ලොව විශාලතම මහාද්වීපික ගංජා වෙළඳපොළබවට පත්ව තිබේ.

ගංජා ලාභදායී ව්‍යාපාරයක්ද?

ගංජා සැබවින්ම ලාභදායී කර්මාන්තයක් වන අතර ශුද්ධ ලාභ ආන්තිකය 15% සහ 21% අතර විය හැකිබව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

දුම්කොළ භාවිතාවට වඩා ගංජා භාවිතාව ආරක්ෂිත ද?

දුම්කොළවලට වඩා ගංජා භාවිතාව ආරක්ෂිත බවට මහජන මතයක් පැවතියත් එය සත්‍යයක් නොවන බව නවතම අධ්‍යයනයක් අනාවරණය කර තිබේ. 

ඔන්ටාරියෝහි ඔටාවා විශ්වවිද්‍යාලයයේ විකිරණ විද්‍යා අංශයේ සහකාර මහාචාර්යවරියන මෙන්ම ප්‍රධාන අධ්‍යයන කතුවරිය වන ආචාර්ය ජිසෙල් රේවා පැවසුවේ දුම්කොළවලට වඩා ගංජා ආරක්ෂිත බවට මහජන මතයක් ඇති බව ය. 

මෙය සත්‍ය නොවිය හැකිබවට මෙම අධ්‍යයනයෙන් සැකයක් මතු කරනබව මහාචාර්යවරිය සඳහන් කළා ය.

ඇය පෙන්වා දුන්නේ දුම්කොළ දුම් පානයට වඩා ගංජා දුම් පානය කිරීමෙන් ශ්වසන පද්ධතියට සිදුවන හානිය වැඩිවිය හැකිබව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙන බව ය.

“අමෙරිකානු පෙනහැලි සංගමය පවසන්නේ ඔබේ පෙණහැලිවලට යා යුතු එකම දෙය පිරිසිදු වාතය පමණක් බව යි. එබැවින් ඔබ වෙනත් යමක් ආශ්වාස කරන්නේ නම්, එය ඔබේ පෙණහලුවලට විෂ විය හැකිබව,” මහාචාර්යවරිය පැවසුවාය.

පර්යේෂකයින් ගංජා සහ දුම්කොළ දුම් පානය කළ පුද්ගලයින් 56 දෙනෙකුගේ පෙනහැලි CT ස්කෑන් සහ වසර 25කට වැඩි කාලයක් අධික ලෙස සිගරට් දුම් පානය කළ පුද්ගලයින් 33 දෙනෙකුගේ ස්කෑන් පරීක්ෂණ සමග සසඳා  තිබේ.

ගංජා සහ දුම්කොළ දුම් පානය කළ පුද්ගලයින්ගෙන් 75%කට පමණ පෙනහැලි හා ශ්වසන මාර්ගයේ ඇතිවන එම්පිසීමා රෝගය පවතිනබව අධ්‍යනයෙන් හෙළිවී ඇත.

දුම්කොළ දුම් පමණක් පානය කරන්නන්ගෙන් 67%ක් පමණ පිරිසකට එම්පිසීමාව ඇති අතර දුම් පානය නොකරන අයගෙන් 5%ක් පමණක් මෙම රෝගයට ගොදුරුවී ඇති බව පර්යේෂකයින් අනාවරණය කළේ ය.

එම්පිසීමාව යනු හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති කරන පෙනහැලි තත්ත්වයකි. එම්පිසීමාව ඇති පුද්ගලයින්ගේ පෙණහැලිවල ගර්තවලට හානි සිදුවේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top