තිළිණි ප්‍රියමාලි වංචා කළ මුදල් ඇගේ ඩුබායි ව්‍යාපාරවලට ආයෝජනය කර ඇතැයි හෙළිවේ

තිළිණි ප්‍රියමාලි වංචා කළ මුදල් ඇගේ ඩුබායි ව්‍යාපාරවලට ආයෝජනය කර ඇතැයි හෙළිවේ

මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාරියක වන තිළිණි ප්‍රියමාලි නමැත්තිය විසින් ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත් එකී ව්‍යාපාරය ඇයගේ නමින් ලියාපදිංචි වී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත කරුණු අනාවරණය කළේය.

සැකකාරිය විසින් කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මෙසේ වංචා කරන ලද මුදල් ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාරයක් සඳහා ආයෝජනය කර ඇති බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියේ හා මහ බැංකුව හරහා තොරතුරු විමසා ඇති බවත් ඉදිරියේදී විමර්ශන ප්‍රගතිය සඳහන් කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයා වෙත සාක්කි සම්පිණ්ඩන වාර්තාවක් ගොනු කරමින් සඳහන් කළේය.

ඒ අනුව ප්‍රධාන සැකකාරිය වන තිළිණි ප්‍රියමාලිට එරෙහි සාක්කි 19, බොරැල්ලේ සිරිසුමන හිමි සාක්කි 5, ජානකී සිරිවර්ධනට එරෙහි සාක්කි 6ක් හා ඉසුරු බණ්ඩාරට එරෙහි සාක්කි 3ක් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණව හමුවේ පැවසීය.

මෙය සංකීර්ණ විමර්ශනයක් බවත් අසාද් සාලි මහතා මුලින් කෝටි 10ක් පසුව කෝටි 15ක් ජානකී සිරිවර්ධන වෙත ලබා දුන් බවත් මේ සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇති බවට රහස් පොලිසිය අධිකරණය හමුවේ කරුණු දැක්වීය. මීට අමතරව තිළිණි ප්‍රියමාලිට එරෙහිව නඩු 14ක් තිබෙන බවත් ඉසුරු බණ්ඩාර යන අයගේ ගිණුමට ලක්ෂ 100ක මුදලක් ඇය විසින් අවස්ථා කිහිපයකදී බැර කර ඇති බවට සඳහන් කළ රහස් පොලිසිය තිළිණි ප්‍රියමාලි ගනුදෙනුකරුවන්ගෙන් ලබා ගත් රන් භාණ්ඩ උකස් කිරීම සඳහාද ඔහුව භාවිත කර ඇති බව පැවසීය.

තවද අධිකරණ නියෝග අනුව තිළිණ ප්‍රියමාලිගේ නිවෙස පරීක්ෂා කර මිලියන පහකට අධික මුදලකට උකස් කර තිබූ රන් භාණ්ඩවලට අදාළ උකස් පත්‍රිකා සොයා ගත් බවත් මේ මුදල්වලින් කුමක් කළේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකිව ඇති බවට පොලිසිය අධිකරණය වෙත දැනුම් දුන්නේය.

මෙහිදී බොරැල්ලේ සිරිසුමන හිමි මේ වංචාව සඳහා මුදල් යෙදවීමට පැමිණිලිකරුවන් පොලඹවා ගැනීම පමණක් බවත් පැමිණිලිකරුවකුගේ මිය ගිය පියාගේ ආවේශය ගෙන පිත්තල මුට්ටියක් රන් බවට පෙන්වා මුදල් යෙදවීමට පැමිණිලිකරුවකු උනන්දු කර අවස්ථාද ඇති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිත්තල භාණ්ඩ හිමිකරුගේ ප්‍රකාශයක් ගැනීමට ක්‍රියා කරමින් සිටින බව පැවසීය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා බොරැල්ලේ සිරිසුමන ඉසුරු බණ්ඩාර, ප්‍රියන්ත කුමාර රුපියල් 25,000ක මුදල් හා මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කරමින් ඔහුන්ගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කෙරිණ.

මීට අමතරව සෑම මසකට අවසන් ඉරු දින පෙරවරු 9ත් 12ත් අතර කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කරන ලෙසට නියම කෙරිණ.

තවද මේ නඩුවේ ප්‍රධාන සැකකාරිය වන තිළිණි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන හා කසුන් හර්ෂණ ලබන මස 13 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මෙහිදී ලක්ෂ අටක රන් මාලයක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලිට ඇප ලැබුණු අතර, සෙසු සිද්ධීන් සම්බන්ධයෙන් තවමත් විමර්ශන පවත්වන බැවින් විමර්ශනවලට බාධා පැමිණිය හැකි බව සලකා සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top