දශක 5ක් තුළ පුරුෂයින්ගේ ශුක්‍රාණු සාන්ද්‍රණය 51%කින් අඩුවෙයි. හේතුව මෙන්න.

22 6315e5eb8f814

පිරිමින් ශුක්‍ර මෝචනයේ දී මුදාහරින ශුක්‍රාණු සාන්ද්‍රණය, ගෙවුණු වසර 50 තුළ දී 51%කින් පහත වැටී ඇති බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

ඒ, ඊශ්‍රායලයේ ජෙරුසලමේ හෙබ්‍රෙව් විශ්වවිද්‍යාලයය සහ එක්සත් ජනපදයේ මවුන්ට් සයිනයි වෛද්‍ය විද්‍යාලයය විසින් මෑතක දී ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණවලන්.

1970 ගණන්වල දී සාමාන්‍යයෙන් ශුක්‍රාණු මිලිලීටරයකට ප්‍රජනක සෛල මිලියන 101ක් වූ අගය, ගතවූ පනස් වසර තුළ දී මිලියන 49 දක්වා පහත වැටී ඇති බව පර්යේෂකයින් ගණනය කර තිබෙනවා.

සාන්ද්‍රණය පහත වැටීමට අමතරව, ශුක්‍රාණුවල ගුණාත්මකභාවයේ අඩුවීමක් ද මෙම පර්යේෂණවල දී අනාවරණය වී අතර ඩිම්බයට ඇතුළුවිය හැකි සෛල ප්‍රතිශතය මෑත දශකවල දී සැලකිය යුතු මට්ටමින් පහත වැටී තිබෙනවා.

“මෙහිදී අපි දුටු වඩාත්ම කැපී පෙනෙන දෙය වුණේ ශුක්‍රාණුවල චලනය අඩුවීම යි. එයින් ශුක්‍රාණුවල සංසේචන හැකියාව අඩුවෙනවා,” බ්‍රසීලයේ ‘සහය ලත් ප්‍රජනන සංගමයේ’ උප සභාපති, මෞත්‍ර ලිංගික විශේෂඥ මොඅසීර් රෆායෙල් රඩේලි පවසන්නේ ය.

මේ අගයන්හි අඛණ්ඩ පහත වැටීම සෞඛ්‍ය විශේෂඥයන් වෙත අනතුරු ඇඟවීමක් නිකුත් කරනවා.

බ්‍රසීලයේ මෞත්‍ර ලිංගික සංගමයේ පුරුෂ රෝග පිළිබඳ අංශයේ සම්බන්ධීකාරක එඩුවාඩෝ මිරැන්ඩා පවසන්නේ “මෙම පහත වැටීම වේගවත් වී තිබෙනවා. එය අවසන් වන්නේ කෙතනින්දැ යි අප දන්නේ නැහැ,” යනුවෙනි.

පිරිමින්ගේ සරුභාවයට කොවිඩ්වලින් බලපෑමක්.

ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදුකරන ලද එම පර්යේෂණයන්ට අනුව, 1970 සහ 1990 අතර කාලයේ දී ශුක්‍රාණු සාන්ද්‍රණය වසරකට 1.16% බැගින් මෙලෙස පහත වැටී තිබෙනවා.

එහෙත්, 2000 ගණන්වල සිට මෙම අනුපාතය වසරකට 2.64%ක් ලෙස හෙවත්, දෙගුණයකට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා.

සියලුම මහාද්වීපවල මෙසේ ශුක්‍රාණු සංඛ්‍යාවේ පහත බැසීම විද්‍යාඥයින් විසින් නිරීක්ෂණය කර ඇත්තේ, යුරෝපයේ, අප්‍රිකාවේ මෙන්ම මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ සංඛ්‍යා වඩාත් වේගයෙන් පහළ බැස ඇති බවයි.

මෙම සංසිද්ධියට හේතු වී ඇත්තේ කුමක්ද? විශේෂඥයන් හේතු ලෙස අවම වශයෙන් කරුණු පහක් පෙන්වා දෙනවා.

1. අධික තරබාරුව

🟢 අධික බර, ශුක්‍රාණුවලට අහිතකර අන්දමේ වෙනස්කම් රැසක් ඇතිකරන්නකි.

🟢 ශරීරයේ මේදය ගබඩා කරන මේද පටක වර්ධනය, පිරිමි ලිංගික සෛල නිෂ්පාදනයේ වැදගත්ම හෝමෝනවලින් එකක් වන ටෙස්ටොස්ටෙරෝන්වලට සෘජුවම අහිතකර ලෙස බලපාන ස්‍රාවයක් මුදාහරියි.

🟢 තරබාරුකම, උදාසීන ජීවන රටාව සහ අසමතුලිත ආහාර වේලක් ලබාගැනීම ශුක්‍රාණු පහත වැටීම.

🟢 මිරැන්ඩා පෙන්වා දෙන්නේ, අධික බර නිසා ශරීරයේ විවිධ සෛලවලට හානි සිදුකරන ක්‍රියාවලියක් වන ‘ඔක්සිකාරක ආතතිය’ යන තත්ත්වය ද ඇති වන බව යි.

🟢 “මීට අමතරව, අධික තරබාරු පුද්ගලයන්ගේ ලිංගික ප්‍රදේශයේ වැඩි මේද ප්‍රමාණයක් ඇති අතර, එය ශුක්‍රාණුවලට අහිතකර ලෙස බලපානවා,” යනුවෙන් ද මෞත්‍ර ලිංගික විශේෂඥයා පවසා සිටිනවා.

🟢 ප්‍රජනක සෛල නිපදවා ගබඩා කර ඇති වෘෂණ කෝෂ නිසි ලෙස ක්‍රියා කිරීම සඳහා පැවතිය යුතු උෂ්ණත්වය, ශරීර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1ක් හෝ 2 ක් පහළින් තිබිය යුතු බැවින් වෘෂණ කෝෂය ශරීරයෙන් පිටත පිහිටා තිබෙනවා.

🟢 එහෙත් එම ප්‍රදේශවල මේදය වැඩිවීම නිසා ප්‍රජනක ඉන්ද්‍රියයන්හි උෂ්ණත්වය ඉහළ යන අතර, ඒවායේ ක්‍රියාකාරීත්වය ද අඩු වෙනවා.

🟢පසුගිය දශක පහ තුළ ශුක්‍රාණු ප්‍රතිශතයේ මෙම පහත වැටීම පැහැදිලි කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් සිදුකළ ගණනයකට අනුව, ලොව පුරා පිරිමින්ගෙන් 39%ක් අධික බරින් යුක්ත වන අතර 11%ක් ස්ථුලතාවයෙන් පෙළෙයි.

2. මත්ද්‍රව්‍ය අනිසි භාවිතය

🟢 මද්‍යසාර, දුම්කොළ, වාෂ්පමය දුම්වැටි ඉරීම (vaping), මරිජුවානා, කොකේන් ආදී මත් ඖෂධ සියල්ලටම පොදු ලක්ෂණයක් තිබේ. ඒ, ඒවා සියල්ලම පුරුෂ ලිංගික සෛලවල සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑමයි.

🟢 “මෙයින් සමහරක් ද්‍රව්‍ය ශුක්‍රාණුවල ඇති උත්පාදක සෛලවලට සෘජුවම හානි කරනවා,” මිරැන්ඩා පවසයි.

🟢 අනෙක් ද්‍රව්‍ය වක්‍ර ලෙස ක්‍රියා කරමින්, වෘෂණ කෝෂවල ක්‍රියාකාරිත්වය උත්තේජනය කරන හෝමෝන නිෂ්පාදනයට අහිතකර ලෙස බලපෑම් සිදු කරයි.

🟢 විශේෂඥයන් නිතරම උපුටා දක්වන උදාහරණය වන්නේ මාංශපේශි වර්ධනය කරගැනීම සඳහා පෙති, ජෙල් සහ එන්නත් හරහා ටෙස්ටොස්ටෙරෝන් අනිසි මාත්‍රාවලින් ලබා ගැනීමයි.

🟢 “මේවාට ඇති ඉල්ලුම මෑත වසරවල දී ඉතා අන්තරාදායක ලෙස හා බියජනක ලෙස ඉහළ ගොස් තිබෙනවා,” රඩේලි පවසයි.

🟢 පැහැදිලි සෞඛ්‍යමය හේතුවක් නොමැතිව මෙම හෝමෝනය බාහිරින් ලබාගන්නා විට, එය තවදුරටත් ස්වභාවිකව නිපදවීම අවශ්‍ය නොවෙතැ යි ශරීරය සිතනබවත් වෛද්‍යවරයා පවසා සිටියි.

🟢 මෙහි ප්‍රතිඵලයක් ලෙස වෘෂණ කෝෂ ක්‍ෂයවීමට පවා ඉඩ ඇති අතර, ශුක්‍රාණු සංඛ්‍යාව බිංදුව දක්වාම පහත බැසීමට ඉඩ තිබේ. ‘නිශ්ශුක්‍රාණුතාව’ ලෙස හැඳින්වෙන්නේ මෙම තත්ත්වය යි.

3. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග

🟢 බැක්ටීරියා නිසා ඇති වන ක්ලැමීඩියා සහ ගොනෝරියා වැනි රෝග, අපිවෘෂණයේ (වෘෂණ කෝෂ පිටුපස ඇති නාල) ආසාදන ඇති කළ හැකි ය.

🟢 මෙම ව්‍යුහය වෘෂණවල ඉහළ කොටසට සම්බන්ධ වන අතර, ශුක්‍රාණු ගබඩා කිරීම සඳහා ක්‍රියා කෙරේ. එහි ඇතිවන ඕනෑම ගැටළුවක් ශුක්‍රාණුවල පැවැත්ම කෙරෙහි අහිතකර ලෙස බලපායි.

🟢 ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව, 2020 වසරේ දී පමණක් ක්ලැමීඩියා රෝගීන් මිලියන 129ක් සහ ගොනෝරියා රෝගීන් මිලියන 82ක් වාර්තා වී තිබේ. මෑත දශක කිහිපය තුළ දී මෙම අනුපාතය ස්ථාවරව හෝ වැඩිවෙමින් පවතින බව ද සොයාගෙන ඇත.

🟢 රඩේලිට අනුව, මෙහි තුන්වන රෝග කාරකය වන්නේ HPV යන කෙටි යෙදුමෙන් ද හඳුන්වන මානව පැපිලෝමා වයිරසය යි.

🟢 “එය ශුක්‍රාණු නිෂ්පාදනයට මෙන්ම ශුක්‍රාණුවල ජාන සැකැස්මට ද බලපානවා,” ඔහු පවසයි.

4. උකුල මත පරිගණකය තබා ගැනීම

🟢 වෘෂණ කෝෂවල උෂ්ණත්වය ශරීරයේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1ක් හෝ 2ක් පහළින් පැවතිය යුතු ය. ඔබ පරිගණකයක් උකුල මත තබාගෙන වැඩ කිරීම, ශුක්‍රාණු නිෂ්පාදනයට අහිතකර ලෙස බලපාන බව පසුගිය දශකය තුළ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනවලින් හෙළි වී තිබේ.

🟢 එයට හේතුව වන්නේ, පරිගණකයේ බැටරිය රත්වීම නිසා ශුක්‍රාණු අධික ලෙස රත්වීම යි.

🟢 ඔබේ ලැප්ටොප් එක පැය ගණනක් ඔඩොක්කුවේ තබා ගැනීම ශුක්‍රාණු වලට අධික තාපයක් ලබා දීමකි.

🟢 ඉහළ උෂ්ණත්වයන් හා සම්බන්ධ වෙනත් පුරුදු ද ප්‍රජනන සෞඛ්‍යයට අවදානමක් ඇති කරන බව මිරැන්ඩා පෙන්වා දෙයි. උදාහරණයක් ලෙස, දිගු වේලාවක් තිස්සේ උණුසුම් ජලයේ ස්නානය කිරීම හෝ සෝනා (ජල වාෂ්ප ස්නානය) භාවිතය ඔහු පෙන්වා දෙයි.

🟢 තාක්ෂණයත් සමග ආ විද්‍යුත් චුම්භක තරංග, දුරකථන සංඥා සහ රැහැන් රහිත අන්තර්ජාලය පවා ඍණාත්මක බලපෑම් බව ඇතිකළ හැකිබව යි වෛද්‍යවරයා පවසන්නේ.

🟢 “වයිෆයි සහ විද්‍යුත් චුම්භක තරංග වැනි දේ ශුක්‍රාණුවලට බලපාන බව රසායනාගාර පර්යේෂණාත්මක අධ්‍යයනයන්හි දී හෙළිවී තිබෙනවා,” ඔහු පවසයි.

🟢 “නමුත් මෙම තාක්ෂණයන් මෙම සෛලවලට සැබවින්ම හානි කරයි ද යන්න තවමත් තහවුරු කර ගෙන නැහැ,” ඔහු වැඩි දුරටත් පවසා සිටියි.

5. අන්තරාසර්ග ග්‍රන්ථිවල ගැටලු

🟢 විශේෂඥයින් ‘අන්තරාසර්ග ග්‍රන්ථවලට බාධා කරන්නන්’ ලෙස හඳුන්වන විෂ සහිත ද්‍රව්‍යයන් වෙත ද සිය අවධානය යොමු කර තිබේ.

🟢 මෙම ලැයිස්තුවට වායු දූෂණය මෙන්ම ප්ලාස්ටික් සහ පළිබෝධනාශක ද ඇතුළත් වේ.

🟢 මෙම අණුවල ව්‍යුහය මිනිස් ශරීරයේ හෝමෝනවලට බෙහෙවින් සමාන වන අතර, එම නිසා සෛල ප්‍රතිග්‍රාහකවලට ගැලපී අහිතකර ප්‍රතික්‍රියා සිදුකිරීමට සමත් වේ.

🟢 වර්තමාන අධ්‍යයනයන්ගෙන් අනාවරණය වූ මෙම හේතුවලින් එකක් පුරුෂ සරුභාවයට බලපෑම් කරන බව පෙනේ.

🟢 “නමුත් අපි තවමත් මෙම ගැටලුවේ තරම නිශ්චිතව දන්නේ නැහැ. ඒ පිළිබඳව ගැඹුරින් සොයාගැනීමට බොහෝ අධ්‍යයනයන් සිදුවෙමින් තිබෙනවා,” රඩේලි පවසයි.

– බීබීසී සිංහල / bbc. –

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top