තමන් පැහැර ගත්තා කියා. සැමියාගෙන් ලක්ෂ 35ක කප්පම් ඉල්ලූ ආදරණීය බිරිඳ.

තමන් පැහැර ගත්තා කියා..සැමියාගෙන් ලක්ෂ 35ක කප්පම් ඉල්ලූ ආදරණීය බිරිඳ.

සැමියා හා දරුවන් රවටා රුපියල් ලක්ෂ 35 ක මුදලක් ලබා ගැනීම සඳහා,තමන් පැහැරගත් බව පවසමින් නිවසක සැඟව සිටි කාන්තාවක් ආණමඩුව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

ආණමඩුව නගරයේ පදිංචි ඇය තිදරු මවකි. එම කාන්තාවගේ සැමියා විශ්‍රාමික යුධ හමුදා නිලධාරියකු වන අතර විශ්‍රාම යාමෙන් පසුව කොන්ත්‍රාත්කරුවකු ලෙස කටයුතු කර ඇති බවත් මේ වන විට කොන්ත්‍රාත් වලින් පාඩු ලබා නිවසට වී සිටින බවද පොලිස් පරීක්ෂණවලින් හෙළිව තිබේ.

අදාළ කාන්තාව පසුගිය 15 දින ආණමඩුවේ නිවසින් දියණිය පදිංචි වාරියපොළ හංහමුණ නවගත්තම ප්‍රදේශයට ගොස් ඇති බවත් එදින ආණමඩුව නගරයට පැමිණෙන බවට සැමියාට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇති බවත් පසුව එදින සිට අතුරුදන්ව ඇති බවත් වාර්තා වේ.

කෙසේනමුත් තම මව ආණමඩුව නගරයට පැමිණෙන තුරු බලා සිටි එම කාන්තාවගේ බාල පුත්‍රයා මව සොයාගැනීමට නොහැකි වීමෙන් පොලීසියට පැමිණිලි කර තිබේ. පසුගිය 16 වන දින අදාළ කාන්තාව සිය සැමියාට දුරකථනයෙන් කතා කරමින් පවසා ඇත්තේ තමාව සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැහැරගෙන ගොස් ලක්ෂ 50ක මුදලක් ඉල්ලූ බවත් තමා මරා දමන බවට තර්ජනය කරන බවත්ය.

එලෙස දුරකථන ඇමතුම් කිහිපයක් අදාළ කාන්තාව විසින් සැමියාට ලබා දී තිබුණි. මේ වනවිටත් පොලීසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබූ අතර, එහිදි කාන්තාව පැහැරගත් බවට කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකිව තිබේ. පසුව නැවත වතාවක් දුරකථන ඇමතුමක් ලබාදී බිරිඳ නිරුපද්‍රිතව බේරාගැනීමට නම් ලක්ෂ 35ක මුදල් ලබාදෙන ලෙස සැමියා ට පවසා ඇත.

කෙසේවෙතත් පොලීසිය විසින් අදාළ කාන්තාවගේ දුරකථන ඇමතුම් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, එහිදී ඇය සිටි ස්ථානය පිළිබඳව තොරතුරු ලැබී තිබේ. ඒ අනුව අදාළ කාන්තාව රැඳී සිටි කටුපොත ප්‍රදේශය පිළිබඳව විශේෂ විමර්ශනයක් අරඹා පසුව නිවසක සැඟව සිටියදී අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාව පොලීසියට පවසා ඇත්තේ බාල පුත්‍රයා විදේශගත වීමට රුපියල් ලක්ෂ 9ක මුදලක් ලබාගත් බවත් එයට පොලී මුදලක් ද එකතුව මේ වනවිට විශාල ණය මුදලක් බවට පත්ව ඇති බවත් එය ගෙවා දැමීමට මෙය සිදුකළ බවත්ය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදාළ කාන්තාවගේ සැමියාගෙන් හා පුතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත. අත්අඩංගුවට ගත් කාන්තාව හෙට ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top