ස්ථිර රැකියාවක් නැතිව කසාද බෑ කිව්වා. ඒකයි දරුවා අතෑරියේ | කොටුව දුම්රිය ස්ථානයෙන් ධාවනයවීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ වැසිකිලියේ අතැර ගොස් තිබූ බිළිඳාගේ ඈත්තම කතාව…

colombo fort station baby story

කොටුව දුම්රිය ස්ථානයෙන් ධාවනයවීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ වැසිකිලියේ අතැර ගොස් තිබූ බිළිඳාගේ පියා සහ මව මේ වනවිට අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටිති. දරුවා පරිවාස භාරයේ රෝහලේය.
දරුවා අතැර යන්නට ඔවුන් ගත් තීරණය හා ඊට පසුබිම්වන කතාව මේ දෙන්නාගෙන් මේ වනවිට පොලිසිය සටහන් කරගෙන තිබෙන අතර දැනට සිදු කර ඇති පාපොච්චාරණය මෙසේ පෙළ ගැසේ.
දමිළ ජාතික 25 හැවිරිදි තරුණ යුවළක් වන මොවුන්ගෙන් දරුවාගේ පියා වන රාජේන්ද්‍රන් විජේ කොස්ලන්ද මීරියබැද්ද පදිංචිව සිටියේය.
ඔහු දෙහිවල ප්‍රදේශයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක අවසන් වසරේ ඉගෙනුම ලබමින් දෙහිවල බෝඩිමක නවාතැන්ගෙන සිටියේය.
බණ්ඩාරවෙල නායබැද්ද වත්තේ පදිංචි මානික්කම් ප්‍රියලෝචනී (25) දරුවාගේ මවයි. ඇය රැකියාවක් කළේ නැත. ඇයත් ඔහුත් පෙම්වතුන් වන්නේ වසර දෙකක පමණ කලෙක සිටයි.
අගහිඟකම් මැද ජීවත්වන පවුල් දෙකක් වුවත් ඉගෙනීම තුලින් තැනකට එන්නට තරුණයා වෙහෙස ගෙන තිබේ. ඔහු කොළඹ එන්නේ නෑදෑයෙකුගේ උදව්වෙනි. පුද්ගලික සරසවියක තොරතුරු තාක්ෂණය සම්බන්ධ උපාධියක් හදාරන්නට ඔහු යොමුවන අතර ඊට මුදල් සොයාගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයෙම ආයතනයක සේවය කරමිනි.
මේ දෙන්නා අතර ප්‍රේම සම්බන්ධය වැඩිහිටියන් දැන සිටි නමුත් විවාහයට යන්නට නම් ස්ථිර රැකියාවක් අවශ්‍ය බව පෙම්වතියගේ නිවසින් කොන්දේසි පනවා තිබුණි.වයස 25 සම්පූර්ණ වූවත් ඔවුන්ගේ ඉලක්ක සපුරනතුරු විවාහය තහනම් විය. දැඩි ගතානුගතික ප්‍රතිපත්ති වල සිටි නිවසේ අයට අවනතවන්නට පෙම්වතිය කැමති වූයේ නැති අතර නිතර වාද කළ බව පැවසේ.
පෙම්වතිය බලන්නට වරින්වර ගමට යන පෙම්වතා එහිදී ඇය වැඩිහිටියන්ට රහසේ කාමරවලටද එක්ක යයි. ඔවුහු විවාහ විය යුතු වයසේ වැඩිහිටියන් වූහ. නමුත් ආර්ථිකය ඔවුන්ට හරහට හිටියේය.

මේ අතර දෙන්නාගේ මොළ රත්වූයේ අහම්බෙන් දරුවෙකු පිළිසිඳගෙන ඇති බව පෙම්වතියට තේරුම් යාමෙනි. ඒ බව ඇය කියා තිබුනේ පෙම්වතාට පමණි. නිවසේ අයගෙන් මෙය වසන් කරන්නට ඇයට පෙම්වතා උපදෙස් දුන්නේ එය දැනගත්තොත් ඔවුන්ගේ සම්බන්ධයද නතර කරනු ඇතැයි බියෙනි.බොහෝ අය කරනවාක් මෙන් දරුවා ගබ්සා කරන්නට ඔවුන් කල්පණා කර තිබූ නමුත් ඊට නිසි තැනක් හා අවස්ථාවක් නොලැබිණි. ගැබ මෝරන්නට වූ නිසා ගබ්සාවකින් මවගේ ජීවිත අවදානමක් මතුවිය හැකි බවට ඔවුන්ට වෛද්‍ය උපදෙස් ලැබී තිබුණි.
‘හරි කමක් නෑ අපි දරුවා හදමු‘ කියා ඔවුන් දරුවා බිහිකිරීම දක්වා යන්නට තීරණය කර ඇත්තේ ඉන් පසුවය.

දරුවා බිහිවන කාලය වනවිට මීට වඩා හොඳ රැකියාවක් ලැබෙනු ඇතැයි පෙම්වතා විශ්වාස කළේය.
නමුත් ඔහු සිතුවාට වඩා තත්වය අමාරු විය. ඔහු වැඩ කරමින් සිටි ආයතනයද පාඩු ලබන්නට වූ අතර නිවසේ සිට වැඩ කරන්නට නියම කර පඩිද අඩු කර තිබුණි. ඔහු තවමත් උපාධිය සම්පූරණ කර නොතිබූ අතර ඉගෙනුම ලබමින් සිටියේ අවසන් වසරේය.
මේ හේතුවෙන් නව රැකියාවකට ඔහු අයදුම් කිරීමේදී සුදුසුකම් ප්‍රමාණවත් නොවීමේ ගැටලුවකටද මුහුණදුන් අතර ඔහුට ලැබුනේ අඩු පඩි සහිත වෙනත් රැකියා අවස්ථාවන්ය.

මේ අතරවාරයේ දරුවා ලැබෙන්නට ඉන්නා බව පෙම්වතියගේ නිවැසියන්ට තේරුම් යනු ඇතැයි බියක්ද මතු විය. ඊට පිළියම් යොදන්නට සිතා පෙම්වතිය කොළඹ ගෙන්වා නතර කරන්නට පෙම්වතා කල්පණා කළේය. එත් එයට අවසරගැනීම පෙම්වතියගේ නිවසින් පහසු නොවූ අතර පෙම්වතා මෙම විකල්පය සඳහා බොරු ගණනාවක් කළ බව පැවසේ. ඇය අයදුම් කළ රැකියාවකට කොළඹ රැකියාවක් ලැබී ඇති බව ඒත්තු ගන්වන්නට විවිධ උපායන් යෙදූ අතර අවසානයේ නිවසින් ඇයට කොළඹ ඒමට අවසර ලැබුණි.

මීට මාස 4කට පමණ ඉහතදී කොළඹ ගෙන්වූ පෙම්වතිය නවාතැන් ගත්තේ මහරගම ප්‍රදේශයේ කුලී ගෙයකය. එම නිවස පෙම්වතාගේ මිතුරෙකුගේ මාර්ගයෙන් හඳුනාගත් අතර ගැබිණියක බව හා අලුත විවාහවූ බවක් එම නිවාස ඒකකය ලබාදුන් අයට පෙන්වාදී තිබුණි.
නීත්‍යනුකූලව විවාහ වී සිටියේ නැති නමුත් පෙම්වතිය සමග දරුවෙකුද ඇති දැඩි කරමින් ජීවත්වීමේ ආශාව ඔවුන්ට තිබුණි.

නමුත් දැඩි තහංචි හා පවුල් පීඩනය මැද ඔවුන්ට තනි තීරණ ගැනීම අවදානම් සහිත ක්‍රියාවක් ලෙස පෙනී ගොස් තිබේ. තරුණයා ගැබිණි පෙම්වතිය වරින්වර හමුවන්නට මහරගම නිවසට ගොස් තිබූ අතර ඇයට ගර්භණී කාලයේ අවශ්‍ය සියලු යුතුකම් ඉටු කර ඇති බව කියා තිබේ. පෙම්වතිය දිගු කලක් නිවසට නොගොස් ගැබිණි බව සඟවා සිටියේ ‘රස්සාවේ නිවාඩු දෙන්නෑ‘ යයි බොරු කියමිනි.

 පසුගිය මස 25 වැනිදා පෞද්ගලික රෝහලකදී මෙම බිළිඳා බිහිකර ඇති අතර ඒ සඳහා වන වියදම් කරනු ලැබ ඇත්තේ ද පෙම්වතාය.
 දරුවා ප්‍රසූත කිරීමෙන් පසු ඔවුන් මහරගම නිවසට නොගොස් සිඟිත්තා තබාගැනීමේ ගැටලුව විසඳන තුරු සිගිත්තා ද සමඟ දෙහිවල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිට ඇත.  
දරුවාගේ උපත දැන සිටියේ ඒ දෙන්නා පමණක් වන අතර පෙම්වතා හෝ පෙම්වතියගේ පවුල් වල අයගෙන් මෙය සඟවා තිබේ.
නීත්‍යානුකූලව විවාහ නොවී දරුවකු ප්‍රසූත කර ඇති බව දෙපාර්ශ්වයේ මවුපියන් දැන ගැනීමෙන් ප්‍රශ්න උද්ගත විය හැකි යැයි සිතූ අතර සමාජ අපවාදයෙන් බේරීම සඳහා විවිධ විකල්ප කතාවී ඇත. නමුත් ඔවුන්ට නිසි විසඳුමක් ලැබී නැත. දරුවා කිසියම් ස්ථානයක දමායෑමට අවසානයේ ඔවුන් කතා කරගෙන තිබේ.
 පසුව ඔවුන් දෙහිවල නවාතැන් ගෙන සිටි හෝටලයේ සිට බස් රථයකින් ඉකුත් 10 වැනිදා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණ ඇත.
පෙම්වතිය සිය පෙම්වතාට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී ප්ලාස්ටික් කූඩයක බහා සිටි දරුවා දී සමුගෙන තිබේ.
පෙම්වතා දරුවා සහිත බෑගය රැගෙන රාත්‍රී 7.30ට පමණ දුම්රිය ස්ථානයට ගොස් එහි වේදිකාවක නතර කර තිබූ මීනගයා රාත්‍රී දුම්රියේ තුන්වැනි පන්තියේ මැදිරියක වැසිකිළියක දරුවා තබා පිටව ගොස් තිබුණි.
මීට පෙර දරුවා පෙම්වතාට ලබාදී සමුගත් පෙම්වතිය සවස හයට පමණ බණ්ඩාරවෙල බලා ධාවනය වූ බස් රථයක නැගී පසුදින අලුයම එකයි තිහට පමණ නායබැද්ද වත්තේ පිහිටි ඇයගේ නිවසට ගොස් ඇත.
 බිලිඳා දුම්රියේ වැසිකිළියේ තැබීමෙන් අනතුරුව පෙම්වතා දෙහිවල සිය නවාතැනට ගොස් පෙරේදා 11 වනදා අලුයම  කොළඹට යළි පැමිණ කොළඹ සිට බදුල්ල බලා අලුයම 2.20 ට ගමන් ගත් ශ්‍රී ලංගම බස් රථයක නැගී බෙරගල හරහා වැල්ලවාය දක්වා ගොස් මීරියබැද්ද නිවසට ගොස් තිබේ.
මේ ආකාරයට අතැර ගිය සිඟිත්තා වැසිකිලියට ගිය අයෙකුට හමුවූ අතර පසුව ඒ ගැන ඡායාරූප සහිතව සමාජ මාධ්‍ය තුළ පුවත් මැවුණි. බොහෝ දෙනෙකුගේ අවධානයට එම සිද්ධිය ලක් විය.
සිඟිත්තා කාට හෝ දෙන්න යනවා යයි කියා තිබූ නමුත් පෙම්වතා සිඟිත්තාට කුමක් කළාද යන්න පෙම්වතිය දැනගෙන තිබුනේ නැත.
තමා ප්‍රසූත කළ සිඟිත්තා දුම්රියේ වැසිකිළියේ තිබී සොයාගෙන ඇති බව තරුණිය දැනගෙන ඇත්තේ සමාජ  මාධ්‍යයෙනි.

පොලිස් මෙහෙයුමකින් පසු සීසීටීවී දර්ශන ඔස්සේ පෙම්වතිය හා පෙම්වතා සිටින තැන පොලිසිය හසු කරගත්තේය.
අත්අඩංගුවට ගත් සැකකාරිය සන්තකයේ තිබූ ජංගම දුරකථනයේ සිඟිත්තාගේ ඡායාරූප තිබූ බව පොලිසිය කියයි.
 සිඟිත්තා කිසියම් ස්ථානයක දමා යෑමට තීරණය කිරීමෙන් පසුව දරුවාට සුව පහසු ඇඳුම් පැළඳුම් අන්දවා මෙම ඡායාරූප ලබාගත් බව ඇය කීවාය. යමකුට මෙම දරුවා හමුවීමෙන් පසුව දරුවා හොඳින් රැක බලා ගෙන හදා වඩා ගනීවි යැයි සිතා මෙසේ කළ බව සැකකරු සහ සැකකාරිය පොලීසියට පවසා ඇති අතර මෙම සිද්ධිදාමයෙන් අනතුරුව ප්‍රශ්න කිරීමේදී
දරුවා හදා වඩා ගැනීමට තමන්ට ලබා දෙන ලෙස, එම දෙදෙනාම පොලිසියෙන් ඉල්ලූ අතර දෙදෙනා නිත්‍යානුකූලව විවාහ වන බවද පවසා ඇත.
මේ වනවිට පරිවාස භාරය යටතේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටින දරුවා දෙමාපියන්ට ලබාදෙනවාද නැද්ද යන්න අධිකරණය ඉදිරියේදී තීරණය කරනු ඇත.

ykyuk
tuyjt6uj
tyjytujk
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top