කොළඹ තත්ත්වයත් දිල්ලිවලට සමාන වෙයි

කොළඹ තත්ත්වයත් දිල්ලිවලට සමාන වෙයි

දිල්ලි නුවර අයහපත් වායු දූෂණයේ බලපෑම, බෙංගාල බොක්කේ අඩුපීඩන තත්ත්වයත් සමග, ශ්‍රී ලංකාව මේ වනවිට අතිශය අයහපත් මට්ටමේ වායු දූෂණයකට ලක්වී තිබේ. 

ඉන් වැඩිම බලපෑමක් කොළඹ නගරයට සිදුවී ඇති අතර දිස්ත්‍රික්ක 16ක් වායු දූෂණයට ලක්වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.

මේ අතර විෂ වායු ආඝ්‍රාණයවීම නිසා ඇතැම් විට මරණ පවා සිදුවිය හැකි බැවින් හැකිතාක් දුරට නිවෙස් තුළ රැඳීසිටින ලෙසත් නිවසෙන් බැහැරව යන්නේ නම් මුඛ ආවරණ අනිවාර්යෙන්ම පළඳින ලෙසත් විශේෂඥ වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලා සිටී.

බෙංගාල බොක්කේ පවතින අඩුපීඩන තත්ත්වයත් සමග සුළං හැමීමේ වෙනසක් සිදුවී ප්‍රබල වායු දහරා දකුණු දෙසට හමා යාමත් සමග දිල්ලි නුවර අවට පිහිටි අයහපත් වායු ධාරාවල බලපෑම මේ වනවිට ශ්‍රී ලංකාවට දරුණු ලෙස එල්ලවී තිබේ. 

ඒ අනුව කොළඹ නගරය ඇතුළු මෙරට ප්‍රධාන නගර කිහිපයක අද දහවල් වනවිට වායු දූෂණය සීඝ්‍රයෙන් ඉහළ ගියේය.

මේ තුළ මිනිස් සිරුරට අහිතකර කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වැනි වායුන් අන්තර්ගතවී ඇති බව විශේෂඥයින් පෙන්වාදෙයි.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආසන්නයේ වායු දූෂණය ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, යාබද ප්‍රාන්තවල ගොවීන් අස්වනු නෙලීමෙන් අනතුරුව පිදුරු ආදී අවශේෂ පුළුස්සා දැමීමය. 

එමෙන්ම ඉන්දියාවේ දීපාවලී ආගමික උත්සවය වෙනුවෙන් ගිනිකෙළි දැල්වීමෙන් පිටවූ කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වැනි අහිතකර වායුන් ද වායුගෝලයට එක්වීමෙන් මෙම තත්ත්වය මාරාන්තික මට්ටමකට උග්‍රවී තිබේ. 

දිල්ලි අගනුවර වායු ගෝලයේ වායු ඝන මීටරයක් තුළ අහිතකර සියුම් අංශු 400ක් පමණ හඳුනාගෙන ඇති අතර, එය සාමාන්‍යයෙන් පැවතිය යුතු වන්නේ අහිතකර වායු අංශු 50ක අඩු මට්ටමකය. 

ඒ අනුව දිල්ලි අගනුවර සිට කිලෝමීටර් 1,500ක් පමණ දුරින් පිහිටි කොළඹ නගරයේ ද දක්නට ලැබුණේ දිල්ලි හා සමාන තත්ත්වයකි. 

යම් ප්‍රදේශයක වායු ගුණ තත්ත්ව දර්ශකයේ 0 සිට 50 දක්වා දැක්වෙනවා නම් එය යහපත් වායු තත්ත්වයක් ලෙසත් ඉන් ඉහළ අගයන් පෙන්නුම් කරන්නේ නම් එය දූෂිත වූ වායු තත්ත්වයක් ලෙසත් සැලකෙයි.

යම් හෙයකින් එය වායු ගුණ තත්ත්ව දර්ශකයේ 151 ඉක්මවන්නේ නම් එය ප්‍රබල අයහපත් වායූ දූෂණ තත්ත්වයක් ලෙස සැලකේ.

කොළඹ නගරය වායු දූෂණයට ලක්වීමට පෙර අප ඩ්‍රෝන දර්ශනවලට නෙළුම් කුළුණ ඉතා හොඳින් දිස්වුවත් අද එය දර්ශනය නොවීය. 

එමෙන්ම දිවයිනේ තවත් ප්‍රධාන නගර කිහිපයක අද උදෑසන කාලයේ වායු දූෂණය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අද උදෑසන 8ට නිකුත් කළ වාර්තාවට අනුව මෙරට වැඩි වශයෙන්ම වායු දූෂණයට ලක්වී තිබුණේ කොළඹ නගරයයි.

එහි වායු ගුණ තත්ත්ව දර්ශකයේ අගය 246ක් ලෙස සටහන්ව තිබු අතර දෙවනුවට වායු ගුණ තත්ත්ව දර්ශකයේ අගය 237ක් ලෙස මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තාවුණි.

වව්නියාව දිස්ත්‍රික්කයේ අගය 229ක් වන විට යාපනය දිස්ත්‍රක්කයේ 226ක් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 214ක් ලෙස සටහන්වුණි. 

වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව කළුතර දිස්ත්‍රික්කයේ 186ක් ලෙසත්, රත්නපුර 166ක්, කෑගල්ල 163ක්, පොළොන්නරුව 160ක්, බදුල්ල 154ක් සහ මහනුවර 151 ලෙස සටහන්වී තිබුණි. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා,

“මේ මොහොතේ තිබෙන වායු තත්ත්ව දර්ශකය අනුව මිනිස්සුන්ට හුස්ම ගන්න සුදුසු තත්ත්වයක් නෙමෙයි තිබෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ ප්‍රවේසම් වෙන්න ඕනේ. හෘදයාබාධ, අංශභාග, ශ්වසන රෝගවලට ගොදුරු වෙන්න පුළුවන්. ගැබිනි කාන්තාවන්, ළඳරුවන් සහ වැඩිහිටියන්ට දැඩි බලපෑම් ඇතිවෙන්න පුළුවන්. පුළුවන් තරම් ගෙදරම ඉන්න පුළුවන් නම් හොඳයි. ඇදුම රෝගීන්ට මේ තත්ත්වය ඉතාමත්ම ප්‍රබල ලෙස බලපානවා. මෙවැනි තත්ත්වයකදී මරණයට පවා ලක්විය හැකියි.”

කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා,

“මෙම තත්ත්වය නිසා මම ඉල්ලා සිටිනවා කොළඹ නගරයේ පාසල්වල දරුවන් පුළුවන් තරම් ක්‍රීඩා පිට්ටනිවල කරන ක්‍රියාකාරකම් අවම කරන්න කියලා. පන්ති කාමරයේම රැඳීසිටින්න.”

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top