ඔක්කොම මැරුවෙ නැතිනම් මාව අහුවෙයි කියල හිතුවා : පංච පුද්ගල ඝාතකයා සිද්ධිය වමාරයි…

gathakaya siyalla wamarai

යාපනය ඩෙල්ෆ්ට් නැඳුන්දිව් ප්‍රදේශයේ නිවසක තිබී කපාකොටා මරාදමන ලද  පුද්ගල මළ සිරුරු 5ක් සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධ ඝාතකයා ප්‍රශ්න කිරීමෙන් පසු තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය කර තිබෙයි.
51 හැවිරිදි සභාරත්නම් රගූ නැමැති  සැකකරු පුංගුඩුතිවි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු පවසා ඇත්තේ තමා ජර්මනියේ වසර 25 ක් ජීවත් වී 2019 දී නැවත මෙරටට පැමිණි බවත් තමාගේ පවුල තවමත් ජර්මනියේ ජීවත් වන බවත්ය.සැකකරු ජර්මනියේ අපරාධ කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇති අතර ජර්මනියේදී මිනීමැරීමට තැත් කිරීමේ නඩුවකට වරදකරු වී ශ්‍රී ලංකාවට ඔහු පිටුවහල් කළ බවද පැවසිණි.
සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවත් මානසික අවපීඩනයෙන් පෙළෙන බවත් පරීක්‍ෂණවලදී අනාවරණය විය.

සැකකරු 19දා එකී ප්‍රදේශයේ සංචාරයක් කරන්නට ගොස් ඇති අතර, සැකකරුට ඝාතන සිදුවූ නිවසේ  කාමරයක් කුලියට දී ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි 74 හැවිරිදි කාර්තිකේසු නාගසුන්දරී නැමත්තියයි.
ආගන්තුක පුද්ගලයා එම නිවසේ රැඳී සිටියදී නිවෙස් හිමියාගේ ඥාතීන් හතර දෙනෙකු ස්විට්සර්ලන්තයේ සිට එම නිවසට පැමිණි බව කියැවුණි. ඒ අය අතර මුලතිව් ප්‍රදේශයේ අඹුසැමි යුවළක් සහ යාපනයේ කාන්තාවන් දෙදෙනෙක් සිටි බව කියැවුණි. එම කාන්තාවන් තිදෙනෙකුම පෙරකී නිවෙස් හිමිකාරියගේ සහෝදරියන් විය.

නිවසේ සිදුවුණ දේවල්  හොඳින් නිරීක්ෂණය කළ සැකකරු නිවසේ හිමිකරුට සහ ඔහුගේ ඥාතීන් සිව්දෙනාගේ වස්තුව උදුරුගන්නට තීරණය කර තිබෙන අතර නිවසේ ඇති කැත්තක් සොයාගෙන පහරදී අඩපණවූ පසුව එහි තිබූ රන් ආභරණ කොල්ලකා පුංගුඩුතිව් පිහිටි ඔහුගේ නිවසට පලාගොස් ඇති බවට අනාවරණ වී තිබෙයි
ප්‍රහාරය එල්ල වන විට නිවසේ සිටි අයගේ කෑගැසීම් ඇසී අසල්වාසියෙකුවූ  75 හැවිරිදි සුබ්‍රමනියම් මහාදේව ද එතැනට ඇවිත් බලන විට සැකකරු ඔහුටද පිහි ඇනුම් එල්ල කර කපා කොටා ඝාතනය කර තිබේ.
එමෙන්ම, එම නිවසේ සිටි පුද්ගලයින් පස් දෙනාගෙන් 101 හැවිරිදි කනකරත්නම් පුරානම් නමැත්තිය බරපතල තුවාල ලබා දිවි ගලවා ගත් බව යාපනය දිස්ත්‍රික් විශේෂ අපරාධ නිවාරණ ඒකකය තහවුරු කළේය. වයෝවෘද්ධ කාන්තාව‍ බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන්නීය.
සැකකරුගෙන් ලබාගත් පාපොච්චාරණයට අනුව වයස අවුරුදු 74ත් 83ත් අතර පුද්ගලයින් 5 දෙනෙකු ඝාතනය කළ බවට ඔහු විසින් පිලිගෙන තිබේ.

 සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදුන් පුද්ගලයා කියා සිටියේ

‘මා නැඳුන්දිව්වට පැමිණි පසු වැඩිහිටියන් සිටින නිවාසයක නවතින්න හිතා හිටියා. මම ටික දවසකට කලිනුත් ඇවිත් එහෙම හිටියා.
සිද්ධිය වූ නිවසේ පිටරටවල අය ආභරණ පැළඳ සිටියා. ඒවා දැක්කම ආසාවක් ඇති වුණා. හැමෝගෙම ආභරණ විකුණලා ඒ සල්ලිවලින් ආපහු ජර්මනියට ගිහින් පාස්පෝට් එකක් ගන්නයි මම සැලසුම් කළේ. 22 වැනිදා පාන්දර 4.30 පහුවෙලා තමයි මං වැඩේට බැස්සේ. නිදාගෙන හිටපු ඔක්කොම මරලා ආභරණ අරගෙන පැනලා යන්නයි මම සැලසුම් කළේ.
ස්වර්ණාභරණ පමණක් සොරකම් කළහොත් පොලිසිය පහසුවෙන් මාව අල්ලා ගනිවි යයි සිතුවා. පොලිස් පරීක්ෂණ වෙනතකට යොමු කිරීම සඳහා මං ඔවුන් සියලු දෙනා ඝාතනය කළා‘ සැකකරු සිදු කළ පොලිස් ප්‍රකාශයේ සඳහන් විය.

කෙසේ වෙතත් සැකකරු එම ඝාතන සිදුකිරීමට හේතුව සම්බන්ධයෙන් පරස්පර අදහස් පළකර ඇති බවත් තවත් විමර්ශන අවශ්‍ය බවත් පොලිසිය පැවසීය.

 අද පොලිසිය සැකකරු ප්‍රාදේශීය පොලිස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඝාතනයට ලක්වූ පස් දෙනා අතර නාගනාති බාලසිංහම් සහ ඔහුගේ බිරිඳ බාලසිංහම් කන්මනියම්මා පූමනීගේ මළ සිරුරු අද (23) ඔවුන්ගේ ඥාතීන්ට භාරදී තිබෙයි.
යාපනය ශික්ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව අනෙක් සිරුරු ගැන තීරණයක් ගනු ඇත.

වයෝවෘද්ධ පුද්ගලයින් පස් දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමට යොදාගත් කැති පිහිය සහ මිනීමරු රඝු පැළඳ සිටි සුරය ළිඳෙන් ගොඩගැනීම අද සිදුවිය.උර්ගාවරි දිසා මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ දින 2ක් රඝු පොලිස් භාරයේ තැබීමට අවසර ලබාදුන් අතර රඝු අද උදේ නැඳුන්දිවට රැගෙනවිත් ලබාදුන් තොරතුරු අනුව ඝාතනයට යොදාගත් පිහිය සහ සැකකරු පැළඳ සිටි සුරයද ඝාතනය සිදුවූ නිවස පිටුපස ඇති ළිඳෙන් සොයා ගෙන ඇත.

මියගිය වයෝවෘද්ධ කාන්තාවන් තිදෙනාම එකම පවුලේ සොයුරියන් වන අතර මියගිය පිරිමි දෙන්නාගෙන් එක් අයෙකු මියගිය කාන්තාවකගේ සැමියාය. අනෙක් පිරිමි පුද්ගලයා ඝාතන අවස්ථාවේ නිවසට ආ බාහිර අයෙකි. තුවාල ලැබූ වයස 101 ක් වූ කාන්තාව පෙරකී මියගිය කාන්තාවන් තිදෙනාගේ වැඩිමල් සොයුරියයි. සිද්ධිය අවස්ථාවේ ඝාතකයා වෙත බුරා පැමිණි සුනඛයෙකුද මරා ඌ ළිඳට දමන්නට ඝාතකයා කටයුතු කර තිබේ.
නෙඩුන්තිව් මාවිලි ගොඩබෑමේ 12 ප්‍රදේශයේ නාවික හමුදා කඳවුර ආසන්නයේ නිවසක මෙම ඝාතන සිදුවිය.

 51 හැවිරිදි රඝු අත්අඩංගුවට ගැන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී පවුම් 26ක රන් ආභරණ අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු සතුව තිබී රන් මාල 3ක් , වළලු ජෝඩු 2ක් , තනි වළල්ලක් , මුදු 8 ක් , පෙන්ඩන්ට් 1ක් , කරාඹු 2 ක්, ජංගම දුරකථන 2 ක් සහ සාරි සහිත ගමන්මල්ලක් සොයාගත් බව පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති මංජුල සෙනරත් මහතාගේ නියෝග මත යාපනය ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විශාන්ත් මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක මෙනන් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් කඩිනම් පරීක්ෂණ පැවැත්වීය.

මේ අතර නෙඩුන්දිව් ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ප්‍රදේශයේ ජනතාව විසින් නෙඩුන්දිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද විරෝධතාවක්ද පවත්වා තිබුණි.

5 1
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top