කංජිපානි ඉම්රාන් පාතාලයට වැටුණු හැටි

kanjipani imran

කංජිපානි ඉම්රාන් යැයි කීවාට ඔහුගේ දෙමාපියන් ඔහුට නම් තබා ඇත්තේ මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් යැයි කියාය. ඉම්රාන්ගේ පියා මාළිගාවත්තේ සව් කැඳ අලෙවිකරුවෙකි. කරත්තයක සව් කැඳ රැගෙන ගොස් හන්දියක් හන්දියක් ගානේ යමින් අලෙවි කිරීම්වල නිරතව සිටි ඔහුගේ සහයට ඇතැම් දිනවල ඉම්රාන් ද ගියේය. සව් කැඳවලට දෙමළ භාෂාවෙන් කියන්නේ කංජිපානි යැයි කියාය. ඒ නිසා මිතුරන් ඔහුට නමක් පටබඳින්නේ කංජිපානි ඉම්රාන් යැයි කියාය.

කංජිපානි ඉම්රාන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූවෙක් බව සදහන්ය. ඔහුගේ මුල්ම රැකියාව බව සඳහන් වන්නේ මාළිගාවත්තේ පිහිටි පොදු වෙළද සංකීර්ණය තුළ ඇති කුකුළු මස් කඩේ මුදල් අයකැමි කමය. පාසල් ගමනට සමුදීමෙන් පසු වසර තුනක් තිස්සේම ඔහු එහි සේවය කළේය. පසුව තමාගේම යැයි කියා කුකුළු මස් කඩයක් ඔහු මාළිගාවත්ත හන්දියේ දමා ගත්තේය. මුස්ලිම් පාතාලයේ රජු ලෙස එකල වැඡඹුණු ෆාජිගේ කල්ලියේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක් වන මංජල් අක්‍රම් ඔහුට මුණ ගැසෙන්නේ එහිදීය. ෆාජිගේ ඥාතියෙක් වූ බැවින් මාළිගාවත්තම එදා මංජල් අක්‍රම් හොල්ලා ගෙන සිටියේය.

කංජිපානිගේ මස් කඩයට නිතර එන යන පුද්ගලයෙක් බවට පත්ව සිටි මංජල් අක්‍රම් දිනක් කංජිපානි ඉම්රාන් අතට සිගරට් බණ්ඩලයක් තබමින් පවසන්නේ එය පරිස්සම් කර තබන ලෙසය. ඒ රට සිගරට්ය. හොර රහසේ මෙරටට ගෙන්වා තිබුණු එම සිගරට් තොගය සමඟ කංජිපානි ඉම්රාන්ව පොලිසියට හසුවන්නට ගතවන්නේ පැය කිහිපයක් පමණි. කංජිපානි ඉම්රාන්ගේ ඉරණම තීරණය වන්නේ එතැන් සිටය. පාතාලයට වැටෙන කංජිපානි ඉම්රාන් ගංජා පානයටද තදින්ම ඇබ්බැහි වූයේය. ඔහු ගංජා පානය කරන්නේ මංජල් අක්‍රම් සමඟිනි.

පාතාලයට එරෙහි පොලිස් මෙහෙයුම් දැඩි වෙමින් ෆාජි ඇතුළු මුස්ලිම් පාතාලයේ මහා බල කණු පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි ප්‍රහාරයන්ට ලක්ව මරමුවට පත්වන විට මංජල් අක්‍රම් සිය ජීවිතය ආරක්ෂා කර ගන්නට පනින්නේ නුවරඑළියටය. එහෙත් ඔහුට වැඩි කාලයක් නුවරඑළියේ සැඟව සිටින්නට ඉඩක් නොවීය. ඔහු සදාකාලිකවම අතුරුදන් වූ පුද්ගලයෙක් බවට පත්වන්නේ සන්නද්ධ පිරිසකගේ පැහැර ගැනීමකට ලක්වය.

සිය සගයාගේ අතුරුදන්වීමෙන් පසු එම සගයාගේ බිරිය සහ දරුවන් බලා කියා ගැනීමේ වගකීම කරට ගන්නේ කංජිපානිය. ඒ වන විට කංජිපානි ඉම්රාන්ද සිටියේ විවහාකවය. ඔහුට එම බිරියට දාව දරුවන් දෙදෙනෙක් ද සිටියේය. සිය මිතුරා වූ මංජල් අක්‍රම්ට ද දරුවන් දෙදෙනෙක් සිටියේය. මංජල් අක්‍රම්ගේ බිරියට කංජිපානි ඉම්රාන් කිට්ටු වීම ෆාජිගේ සහෝදරයෙක් වූ බයියාට එතරම් රිස්සුවේ නැත. ඇහැට කණට පෙනෙන සුරූපී කාන්තාවක් වූ මංජල් අක්‍රම්ගේ බිරියට ඒ වන විටත් බයියා සිටියේ ඇස ගසාගෙනය. එබැවින් බයියා විසින් අවස්ථා දෙකකදීම කංජිපානි ඉම්රාන්ට කොකා ගස්සා තිබුණේය. ඒ අවස්ථා දෙකකදීම දිවි ගලවා ගන්නා කංජිපානි 2015 වසරේ මාර්තු 28 වෙනිදා රටින් පනින්නේ බයියාගෙන් ජීවිතය ගලවා ගන්නටය. එහි ගොස් වැඩි කාලයක් යන්නට මත්තෙන් ආයෝජන වීසා බලපත්‍රයක් ලබා ගන්නා ඔහු මංජල් අක්‍රම්ගේ බිරිය සහ දරුවන් දෙදෙනාව එරටට ගෙන්වා ගත්තේය. ඒ ඇගේ නමින් ඔහු එරටින් මිලදී ගත් නිවසකටය. පසු කාලයේ ඔහු සිය දරුවන් දෙදෙනාව ද ඩුබායි ගෙන්වා ගත්තේය. මංජල්ගේ සහ ඔහුගේ දරුවන් එරට ජාත්‍යන්තර පාසලකට පවා ඇතුළත් කරනු ලැබීය. දැන් මංජල් අක්‍රම්ගේ බිරියට දාව ද කංජිපානි ඉම්රාන්ට දරුවෙක් සිටී. මේ දරුවන් පස් දෙනාටම ඔහු වෙනසක් නොකරමින් සලකන්නේ තමන්ගේ දරුවන්ට සේය.

පොලිසිය පවසන්නේ කංජිපානි ඉම්රාන්ගේ අපරාධ ලේඛනය සැකසෙන්නේ ඩුබායි ගිය පසු බවය. ඔහු ඩුබායි සිට මෙරට සිටින සිය ගෝලබාලයන් යොදා කර ඇති ඝාතන ගණන පමණක් 03 කි. ඝාතන තැත්කිරීම් 15 කට වැඩිය. ඒ අතර ඔහුගේ නීත්‍යානුකූල බිරියගේ ඝාතනයද සටහන් වී තිබීම විශේෂිතය.

ගයාන් කුමාර වීරසිංහ

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top