පාපන්දු ලෝක කුසලානයේ ආසියානු බලාපොරොත්තු බිඳවැටේ

පාපන්දු ලෝක කුසලානයේ ආසියානු බලාපොරොත්තු බිඳවැටේ

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට ක්‍රොඒෂියාව සහ බ්‍රසීලය සමත් වුණා. ඒ, මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ ආසියානු කලාපයේ බලාපොරොත්තු සුන් කරමින්.

සුපිරි 16 දෙනාගේ වටයේ ඊයේ රාත්‍රියේ පැවැති ජපානය සහ ක්‍රොඒෂියාව අතර තරගය උණුසුම් මුහුණුවරක් ගත් අතර ක්‍රොඒෂියාව එම තරගයේ ජය වාර්තා කළේ දඬුවම් පහර 03 ට 01 ක් ලෙසයි.

එම තරගයේ 43 වන විනාඩියේදී ජපානය පළමු ගෝලය වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගැනීමට සමත්වුණා. එහෙත් තරගයේ බලාපොරොත්තු අත් නොහළ ක්‍රොඒෂියා කණ්ඩායම සිය පළමු ගෝලය වාර්තා කළේ 55 වන විනාඩියේදීයි. තරගයේ නියමිත කාලය ගෝල 01 ට 01 ක් ලෙස අවසන් වූ අතර අතිරේක කාලසීමාවේදී ද කණ්ඩායම් 02 ටම ගෝල වාර්තා කිරීමට හැකියාව ලැබුණේ නැහැ.

ඒ අනුව තරගයේ ජය පැරදුම තීරණය කෙරුණේ දඬුවම් පහර අනුවයි. එහිදී ජපාන ක්‍රීඩකයින් එල්ල කළ දඬුවම් පහර 03 ක් සාර්ථකව වැළැක්වූ ක්‍රොඒෂියා කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක ඩොමිනික් ලිවාකොවිච් සිය කණ්ඩායමට ජය හිමිකර දීමට සමත්වුණා. 

මේ අතර සුපිරි 16 දෙනාගේ වටයේ අද අලුයම දකුණු කොරියාව සමග පැවැති තරගයෙන් ප්‍රබල  බ්‍රසීල කණ්ඩායම ජය වාර්තා කළේ ගෝල 04 ට 01 ක් ලෙසයි. 

තරගයේ පළමු විනාඩි 29 තුළ බ්‍රසීල ක්‍රීඩකයින් ගෝල 04 ක් වාර්තා කිරීම විශේෂත්වයක් වුණා. කොරියානු කණ්ඩායම තරගයේ 76 වන විනාඩියේදී සිය එකම ගෝලය වාර්තා කළා. මෙම ජයග්‍රහණත් සමග අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබූ ක්‍රොඒෂියාව සහ බ්‍රසීලය ලබන 09 වනදා පැවැත්වෙන අර්ධ අවසන් වටයේදී එකිනෙකා හමුවීමට නියමිතයි. 

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top