ව්‍යාජ ඉන්වොයිසි හරහා වසර 10 තුළ මෙරට මුදල් ඩොලර් කෝටි 4000 පිටකරලා…

curraption srilankan case

මෙරට මහා පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස ආනයන අපනයන භාණ්ඩවල දත්ත වැරැදි ලෙස හුවා දක්වමින් ව්‍යාජ ඉන්වොයිසි හරහා ඉකුත් වසර දහයක කාලය තුළදී රටින් පිටමං කර ඇති ධනස්කන්දයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් කෝටි 4000 කට අධික යැයි වොෂින්ටන් නගරයේ පිහිටි ග්ලෝබල් ෆයින්ස් ඉන්ටග්‍රිට් (Global Finance Integrity) ආයතනය නිකුත් කළ වාර්තාවක සදහන්වේ. එම ධනස්කන්දයේ රුපියල් වටිනාකම රුපියල් කෝටි 14 ලක්‍ෂයක් පමණ වන බවද කොළඹදී ඊයේ (7) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය විය.

වොෂින්ටන් නගරයේ පිහිටි එම ආයතනය මගින් 2021 දෙසැම්බර් මාසයේදී ලොව රටවල් 134 ක් සම්බන්ධයෙන් එම පර්යේෂණ වාර්තාව නිකුත් කර තිබෙන බව කොළඹ සාමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවැති එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ආර්ථීක විශ්ලේෂක දනූෂ පතිරණ මහතා ප්‍රකාශ කළේය. 
එම වාර්තාවට අනුව ඉකුත් 2009 වසරේ සිට 2018 කාලපරිච්ඡේදයේදී ශ්‍රී ලංකාවෙන් එම අතිවිශාල ධනස්කන්දය ඩොලර් ලෙස  පිටමංව තිබෙන බවද ඔහු කීය. මෙරට ව්‍යාපාරිකයින් ඇතුළු පිරිස් මෙරට භාණ්ඩ ආනයනය කිරීමේදී සැබෑ ආනයන වටිනාකමට වඩා ඉහළ අගයක් ඉන්වොයිස් ලේඛනයේ දක්වා (ආනයන අධි ඉන්වොයිස්කරණය) මෙම කූඨ වංචාව සිදුකරන බවද පතිරණ මහතා කීවේය.

මීට අමතරව ඉහළ බදු ප්‍රතිශතයක් ඇති ආනයනික භාණ්ඩ බදු පැහැර හැරීමට සැබෑ වටිනාකමට වඩා අඩු අගයක් පෙන්වා ‘ආනයන අව ඉන්වොයිස්කරණය” නැමති වංචාව සිදුකරන බවද ඔහු පැවසීය. තවද අපනයන භාණ්ඩ වටිනාකම්වල සැබෑ වටිනාකමට වැඩි අගයක් පෙන්වා සිදුකරන අපනයන අධි ඉන්වොයිස්කරණය මගින්ද අපනයන අගය සැබෑ අගයට වඩා අඩුවෙන් දක්වා කරන අපනයන අවඉන්වොයිස් කරණය මගින්ද ඩොලර් කෝටි ගණනින් රටට අහිමිවන බවද දනූෂ පතිරණ මහතා කීවේය. ශ්‍රී ලංකාව ආර්ථික අතින් බංකොලොත්වි මෙතරම් ණය බරක් ඇතිවීමට මෙම මහා පරිමාණ වංචාව හේතුවන බවද ඔහු  කීය.

කූඨ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස මෙලෙස විදේශ රට වලට ගෙන යන ඩොලර්වලින් විදේශ දේපොළ මිලදී ගැනීම, අධි සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම ආදිය සිදු කරන අතර යම් ඩොලර් ප්‍රමාණයක් විදෙස් බැංකු වල තැන්පත් කරන බව ද පතිරණ මහතා කීවේය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබා ගැනීමට අපේක්‍ෂා කරන ණය මුදල මෙන් දස ගුණයක් මෙම වංචාව හරහා රටට අහිමිවන බව ද දනූෂ පතිරණ මහතා පැවසීය. ශ්‍රී ලංකා මහ බැංකුව මේ ගනුදෙනු පිළිබඳව විගණනයක් කළ යුතු අතර ඒවා නතර කිරීමට දැඩි නීතිපද්ධතියක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු කීය. අපනයන ආදායමෙන් සියයට සියයක මුදලක් ලංකාවට ගෙන ඒම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නීති පැනවුවද ව්‍යාපාරිකයන් ඊට එරෙහිව ඉකුත් කාලයේදී විවිධ හේතු ගෙනහැර පෑ බවද දනූෂ පතිරණ මහතා පැවසීය.  ප්‍රවෘත්ති සාකච්ඡාවට මාධ්‍යවේදී තරිඳු උඩුවර ගෙදර මහතාද සහභාගී වී සිටියේය.

රංජන් කස්තුරි

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top