දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය ගැන CIDය විමර්ශන අරඹයි

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය ගැන CIDය විමර්ශන අරඹයි

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය මේ බව පවසයි.

පහරකෑමකට ලක්ව සිටියදී රෝහල්ගතකර සිටි ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

ඊයේ පස්වරුවේ බොරැල්ල කනත්ත ප්‍රදේශයේදී ඔහු සිය මෝටර් රථය තුළ ගෙළ සිරකර දෙඅත් ගැට ගසා බැඳ දමා සිටියදී කනත්තේ මුරකරු සහ ඔහුගේ සේවකයෙකු විසින් සොයාගෙන තිබුණි.

අනතුරුව දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර ඔහු එම ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය.

මියයන විට දිනේෂ් ෂාෆ්ටර් මහතා 51 හැවිරිදිවියේ පසුවිය.

මියගිය අදාළ ව්‍යාපාරිකයා මෝටර් රථය තුළ යම් ශාරීරික හිරිහැරයකට ලක්ව ඇති බවට බොරැල්ල පොලීසිය සිදුකළ මුලික විමර්ශන වල දී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, රුපියල් කෝටි ගණනක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීම සඳහා යන බව බිරිඳට පවසා ඔහු නිවසින් පිටත්ව ගොස් තිබූ බවය.

එලෙස සභාපතිවරයා ඊයේ (14) දහවල් කුරුඳුවත්ත මල්පාර ප්‍රදේශයේ පිහිටි සිය නිවසින් පිටත්ව ගොස් තිබුණි.

ඉන් අනතුරුව ඔහුගේ බිරිඳ මද වේලාවකින් පසු ඔහුට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති අතර එහිදී ඔහුගේ දුරකථනය ක්‍රියාවිරහිතව තිබී ඇත.

දුරකථනය හරහා ලැබී ඇති සංඥා අනුව ඔහුගේ දුරකථනය බොරැල්ල සුසාන භූමිය අසල තිබෙන බවට බිරිඳ අනාවරණය කරගෙන තිබේ.

ඒ පිළිබඳව සැක සිතූ සභාපතිවරයාගේ බිරිඳ, සමාගමේ විධායක නිලධාරියකුට ඒ බව පවසා බොරැල්ල සුසාන භූමිය වෙත එවා ඇත.

ඔහු පැමිණ කළ සොයා බැලීමේදී, සභාපතිවරයා පැමිණි මෝටර් රථයේ රියදුරු අසුන මත ඔහුගේ අත්දෙක ගැට ගසා ගෙලට වයරයක් දමා තිබෙන අයුරු දැක තිබේ.

ඒ මොහොතේම වහා ක්‍රියාත්මක වී ඇති විධායක නිලධාරියා  සුසාන භූමියේ කම්කරු සේවකයකුගේ ද සහාය ඇතිව සභාපතිවරයාගේ අත් දෙක සහ ගෙලට දමා තිබූ වයර් ඉවත්කර ඔහුව කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

සභාපතිවරයාගේ මෝටර් රථය අසල සිට නාඳුනන පුද්ගලයකු පිටත් වන අයුරු සුසාන භූමියේ සිටි කම්කරු සේවකයෙකු දැක තිබූ බවද පොලීසිය කියයි.

ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් සභාපතිවරයාගෙන් ලබාගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි 03ක්ද සභාපතිවරයා සිදුකර තිබෙන බවද උසස් පොලිස් නිලධාරියෙකු වැඩිදුරටත් සඳහන් කළේය.

WhatsApp Image 2022 12 16 at 06.30.29
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top