Ranil Wickramasinghe ජනපති වගඋත්තරකරු ලෙස නම්කර සිටින නඩු 108කින් ඉවත්කරනවාද? නැද්ද?

ranil wickramasinghe

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩු 108ක වගඋත්තරකරු ලෙස නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම නඩුවලින් ඉවත් කරන්නේද? නැද්ද? යන නියෝගය ලබන මාර්තු 01 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද නිවේදනය කළා.

එම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් වින්දිතයින් බවට පත්වූ තමන්ට වන්දි අය කර දෙන ලෙස ඉල්ලා වින්දිතයින් විසින් එම නඩු ගොනුකර තිබෙන බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙම නඩු සියල්ල අද කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂා ද සිල්වා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වශයෙන් පත්වී සිටින බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35වන වගන්තිය යටතේ ඒ මහතාට එරෙහිව නඩුවක් පවත්වාගෙන යා නොහැකි බවට ජනාධිපතිවරයාගේ නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණා.

එම ඉල්ලීමට අදාළ ලිඛිත දේශන පාර්ශවකරුවන් විසින් අද ඉදිරිපත් කළා. ඉන් අනතුරුව අදාළ නියෝගය මාර්තු මස 01 වන දා ප්‍රකාශයට පත්කරන බව දිසා විනිසුරුවරිය නිවේදනය කළා.

මේ අතර අදාළ නඩුවල වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටීමක් නොකරන බව නීතිපතිවරයාද අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසක්. 

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top