කොළඹ තුරඟ තරග පිටියේදී සරසවි සිසුවිය ඝාතනය වූ හැටි

campus gathanay

ඊයේ (17) දහවල් කොළඹ තුරඟ තරග පිටියේදී ඝාතනයට ලක්වූ තරුණිය සම්බන්ධ සිද්ධියේ වැඩිදුර තොරතුරු මේ වනවිට අනාවරණයවී තිබෙයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ සංඛ්‍යාන විෂය හදාරමින් සිටි තුන්වන වසරේ සිසු පෙම්වතෙකු හා පෙම්වතියක අතර ඇතිවූ පෙම් හබයක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට තොරතුරු අනාවරණයවී ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයේ ඊයේ උදේ පැවති දේශන වලට මේ දෙන්නාම එක්ව සහභාගිවී තිබෙන අතර අනතුරුව ඉතිරි දේශන මගහැර දෙන්නාම විශ්ව විද්‍යාලයට සමීප දුරකින් පිහිටි තුරග තරග පිටියට ගොස් ඇත්තේ දෙන්නා අතර පෙම් සබඳතාව සම්බන්ධ ගැටලුවක් සාකච්ඡා කිරීමට බව පැවසේ.

මෙම තරුණයා සමග පවත්වමින් තිබූ පෙම් සබඳතාව අත්හැරීමට තරුණිය තීරණය කර තිබී ඇති අතර තරුණයා ඊට කැමතිවී නැතැයි පැවසේ. තරුණිය මීට මාස දෙකකට පෙර තරුණයාට මේ නතර කිරීම ගැන දැනුම් දී ඇතත් තවදුරටත් ඒ ගැන කථාකරන්නට අවශ්‍ය බව පවසමින් තරුණයා ඇයව කැඳවාගෙන තුරග තරග පිටියට ගොස් තිබේ.
ඒ වනවිට තරුණිය වෙනත් තරුණයෙකු සමග සබඳතාවයක් පවත්වමින් සිටින බව මෙකී තරුණයාට සැක ඇතිව තිබී ඇති අතර ඔහු ආවේගයෙන් ඒ සම්බන්ධයෙන් ඇය හා වාද කර තිබේ.
එසේම ඇයව මරාගෙන මැරෙන්නට සිතාගෙන ඔහු පිහියක්ද සිය බෑගයේ රැගෙන විත් පැමිණ තිබෙන බව පරීක්ෂණ වලදී හෙළිව තිබේ.ඊයේ දහවල් 12.30 ට පමණ මෙම ශිෂ්‍යාව සිය පෙම්වතා ද සමග කොළඹ තුරඟ තරග පිටිය අසල සිමෙන්ති පඩියක වාඩිවී කතා කරමින් සිට ඇත.
ඇතිවූ සංවාදය අවසානයේ තරුණයා තරුණියගේ ගෙලට පිහියෙන් ඇන ඇයව ඝාතනය කර අනතුරුව එම ස්ථානයෙන් පළාගොස් තිබුණි.සීසීටීවී පරීක්ෂාවේදී ඔහු පළායන අයුරු පොලිසිය හඳුනාගෙන තිබේ.

තුරඟ තරග පිටිය ආසන්නයේ මාර්ග පිරිසිදු කිරීමේ යෙදී සිටි පුද්ගලයකු මෙම සිසුවිය වැටී සිටිනු දැක ඒ බව පොලිසියට දැනුම්දී ඇත. සිද්ධිය සැලවූ වහාම පොලිසිය එම ස්ථානයට පැමිණ ඇති අතර ඒ වනවිටත් සිසුවිය මියගොස් සිට ඇත.
සිසුවිය වැටී සිටි ස්ථානය රුධිරයෙන් නැහැවී ගොස් තිබූ අතර ඇගේ සිරුර පුරා රුධිරය ගලා ගොස් තිබූ බව පොලිසිය පවසයි. එම ස්ථානයේ තිබී සිසුවියගේ බවට සැක කරන පොත් බෑගය සහ දින පොතක් පොලිසිය සොයාගෙන තිබේ.
පෙම්වතියගේ බවට සැකකරන ජංගම දුරකථනයක් ද එහි වැටී තිබී පොලිසිය සොයාගෙන තිබුණි.

ඝාතකයාගේ අරමුණවී ඇත්තේ අනතුරුව ගගකට පැන දිවි නසාගන්නට යයි කියැවුණත් ඔහු එසේ කර නොතිබූ අතර ඔහු අත්අඩංගුවට පත්වන්නේ පොලිසිය ඔහු පදිංචිව සිටි වැල්ලම්පිටියේ නිවස අසළ සෝදිසියෙන් සිටියදී හැන්දෑ ජාමයේ ඔහු නිවසට යළි පැමිණි අවස්ථාවේය.
සිද්ධිය සිදුවූ පසු පොලිසිය සැකකරුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගැනීමේදී එයට ප්‍රතිචාර දැක්වූයේ සැකකරුගේ මව විසිනි. ඇය එහිදී පවසා ඇත්තේ තම පුතු නිවසට පැමිණි බවත් මුදල් පසුම්බිය හා ජංගම දුරකතනය නිවසේ දමා කොහේ හෝ ගොස් ඇති බවත්ය. මේ අනුව වැල්ලම්පිටිය, කොලොන්නාවේ පිහිටි එම නිවසද පොලිසිය විසින් පරීක්ෂා කරන ලද අතර එහි තිබී සැකකරු විසින් ඝාතනයට යොදාගත් ලේ තැවරුණු උල් පිහියත්, ඝාතනයට යන අවස්ථාවේදී පැලඳ සිටි ටීෂර්ටයත් සොයා ගැනිණි.
අනතුරුව නිවස අසළ ආවේක්ෂණ රාජකාරියේ පොලිසිය සිට ඇති අතර ඔහු හැන්දෑ ජාමයේ නැවත නිවසට පැමිණි පසුව අත්අඩංගුවට පත්විය. ඔහු වරද පාපොච්චාරණය කළේය.

සිය පෙම්වතා අතින් මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කිරිවත්තුඩුව හෝමාගම පදිංචිව සිටි 24 හැවිරිදි චතුරි හංසිකා මල්ලිකාරච්චි නමැති සිසුවියකි.
ඇය පවුලේ වැඩිමහලා වූ අතර ඇයට බාල එක් සොයුරියකි. ඇයගේ මවත් පියාත් ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරී යුවළකි. චතුරිගේ පියා රංජිත් ප්‍රේමකුමාර දැන් කිරිවත්තුඩුව, අඹගස් හන්දියේ ඔසුසලක් පවත්වාගෙන යයි. මව ගෘහණියකි.

වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්  24 හැවිරිදි පසිඳු මධුෂංක නමැති සැකකාර පෙම්වතාගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇත්තේ චතුරි හංසිකා නම් මෙම තරුණිය තමාට අහිමි වේ යැයි සිතා ඇයව ඝාතනය කළ බව ය.
ඔහු මීට ඉහත පෙම් සබඳතාවයක් පවත්වා ඇති තරුණියද ඔහුව හැරගොස් ඇති අතර එම අවස්ථාවේදී ඔහු ගෙළ වැළලාගෙන දිවිනසාගන්නට උත්සාහ කර තිබූ බව වාර්තාවේ.
ඔහු මානසික ආතතිය සම්බන්ධයෙන් ඖෂධ ලබාගනිමින් සිටි අයෙකු බවද වාර්තා විය.

මියගිය තරුණියගේ මුහුණු පොතේ හා වට්ස්ඇප්වල පළකළ බව කියන පෝස්ටුවක තම පෙම්වතා අකැමැති මිතුරන් ඇසුරු කිරීම සම්බන්ධ දෙන්නා අතර වාදයක් ගැන සටහනක් හඳුනාගන්නට ලැබෙන අතර මේ දෙන්නා දිගින් දිගටම මේවා ගැන ප්‍රශ්න කරමින් ඇයට වෙනත් සම්බන්ධයක් ඇතැයි චෝදනා නගමින් පසිදු හැසිරී ඇති බව මිතුරන් හා මිතුරියන් ලබාදුන් සාක්ෂි මගින්ද කරුණු හෙළිවේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top