සත්‍යග්‍රහයට පහරදුන් සිද්ධියේ තිදෙනෙක් රිමාන්ඩ් කෙරේ

sathyakgrahaya

75 වන නිදහස් දින උළෙලට විරෝධය පළ කරමින් මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ඊයේ (03) රාත්‍රියේ පැවති සත්‍යග්‍රහය විසිරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේය.

කෙසේවෙතත් මෙම සත්‍යග්‍රහයට තවත් නාඳුනන පිරිසක් පහරදී තිබූ අතර, අත්අඩංගුවට ගත් ඉන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

”කොහේ තියෙන නිදහසක්ද” යන තේමාව යටතේ  75වන නිදහස් දින උළෙලට විරෝධය පළ කරමින් ඊයේ සවස මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් පැවැත්වුණි.

ඒ ගාලු මුවදොර අරගල ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වය.

ඊයේ රාත්‍රියේ සත්‍යාග්‍රහය පැවැත්වෙන ස්ථානයට පැමිණි පොලීසිය අධිකරණ නියෝගය ඉදිරිපත් කරමින් පිරිසට විසිර යන ලෙස දන්වා තිබුණි.

කෙසේවෙතත් පිරිස එම ස්ථානයෙන් ඉවත් නොවූ අතර රාත්‍රී 10ට පමණ එම ස්ථානයට පැමිණි නාඳුනන පිරිසක් සත්‍යග්‍රහයේ නිතර වූවන් සමග ගැටුමක් ඇති කරගෙන තිබුණි.

එහිදී දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර එම අවස්ථාවේ පොලීසිය ඊට මැදිහත්වීමත් සමඟ තත්ත්වය නොසන්සුන් වුණි.

අනතුරුව අධිපීඩන ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලීසිය පියවර ගත්තේය.

සත්‍යග්‍රහයේ නිරත වූවන් එම ස්ථානයෙන් පළවා හැරීමට පොලීසිය කටයුතු කළ අතර කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් ඔවුන් ඉවත් වන තුරු බැටන් ප්‍රහාර එල්ල කර තිබේ.

එහිදී අරගලකරුවන් සිව් දෙනෙක් පොලිස් භාරයට ගැනුණි.

අත්අඩංගුවට ගත් පිරිස අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද පස්වරුවේ  මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණි.

එහිදී ඔවුන් සිව් දෙනාටම ඇප නියම වී තිබුණි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතීඥ නුවන් බෝපගේ සඳහන් කළේ,

“අද දින පොලීසිය විසින් මෙම සත්‍යග්‍රහයට පහරදීමට පැමිණියා යැයි කියන තුන්දෙනෙකුත් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අයගෙන් ප්‍රශ්න කිරද්දි පැහැදිලිව මතුවුණ කරුණු තමයි මීට සතියකට පමණ කලින් රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදහස් වුණ පිරිසක්. මැත කාලීනව ඒ වගේ අපරාධවලට සම්බන්ධ වුණ පිරිසක් සංවිධානගතව මෙතනට ගෙනාව කියන එක නිශ්චිතව පැහැදිලි වුණා. ඒ අනුව එම පිරිසට ඇප ලබා දීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කළා.”

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top