බෙල්ලන්විල පන්සලේදී වද දුන් ‘මියන් කුමාර්ගේ’ සෞඛ්‍ය වාර්තාවක් උසාවියෙන් කැඳවයි…

bellanvila pansale aliya

බෙල්ලන්විල රජ මහා විහාරයේ රඳවා තබාගෙන අමානුෂික කෲර වධහිංසාවට ලක්වී ඇතැයි කියන ‘මියන් කුමාර්’ නමැති අලි පැටවා වහාම පරීක්ෂා කොට එම සත්ත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සති පහක් ඇතුළත අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අභියාචනාධිකරණය වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඊයේ නියෝග කර තිබේ.

2013 වසරේදී මියන්මාර් රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු එම අලි පැටවාට කෲර වධහිංසා සිදුකිරීම ප්‍රබල ලෙස අනාවරණය වූයේ සමාජ ජාලාවන්හි පැතිර ගිය වීඩියෝවකින් අනතුරුවයි.

මෙම වද හිංසනයට අදාළ වීඩියෝ දර්ශන 2021 මාර්තු මාසයේදී මුලින්ම පැතිර ගිය අතර ඒ දිනවල අදහස් දැක්වූ  බෙල්ලන්විල පන්සලේ විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන හිමියෝ මෙසේ පවසා තිබුණි.
‘අපේ ඇත් පැටවා අනික් අලින්ටත් වඩා හොඳින් පුෂ්ටිමත්. ඒ පිළිබඳව පශු වෛද්‍ය නිලධාරීන් සෞඛ්‍ය විද්‍යානුකූලව පෙන්වාදී තිබෙනවා. ඒ අනුව එම චෝදනා බොරු වෙනවා.
මෙම බෞද්ධ වි‍රෝධී බලවේග හරි කැමැතියි අපේ රටේ බෞද්ධ ආගමික උත්සව අඩපණ කරන්න.
පන්සල්වල සිටින අලි ටික විනාශ කිරීමට සමහරුන් සත්ව හිංසාව පිළිබඳ වචනයක් ඉස්සරහට දාගෙන අපිට බොරු චෝදනා එල්ල කරනවා.
“මේ සමාජ ජාල වීඩියෝව පරණ එකක්. මේ දර්ශනවල පෙන්වන්නේ ඇතාට කෝටුවෙන් කීප සැරයක් ගහන විදියට. ඒක වීඩියෝ සංස්කරණයක්. අලුත් තාක්ෂණය අනුව තමයි ඒක විකෘති කර හදලා තිබෙන්නේ‍. මේක තනිකරම විකෘති කරලා තිබෙන වීඩියෝවක්. ඒක දැන් පැටියාගේ ප්‍රමාණය දැක්කාම පැහැදිලි වෙනවා. මේ පැටවා වෙනුවෙන් පොකුණු දෙකක් හදලා තිබෙනවා. ‘

අලියාට වධ හිංසා වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් ඊයේ කැඳවූ අවස්ථාවේදී සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරු සත්ත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සති පහක් ඇතුළත අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට නියෝග කළහ.

බෙල්ලන්විල විහාරස්ථානයෙදී අලියා යකඩ දම්වැලකින් බැඳ දමා අමානුෂික ලෙස කෲර වධහිංසාවට ලක්කරන අයුරු වීඩියෝ දර්ශන සහිතව ගොනුකර තිබූ එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී කරුණු දැක්වූ පෙත්සම්කාර නීතිඥවරයා තමන් අධිකරණයට එම පැමිණිල්ල ගොනු කළ පසු එම සත්ත්වයාව වෙනත් ස්ථානයකට රැගෙන ගොස් රහසිගතව සඟවා ඇති බව පැවසීය.

එලෙස රහසිගතව රඳවා තබා ඇති අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිලිකාර නීතිඥවරයා දැක්වූ කරුණු සැලකිල්ලට ගත් විනිසුරු මඬුල්ල බැලූ බැල්මට නඩුකරයක් පවත්වාගෙන යෑමට කරුණු ඇති බවට නිගමනය කර වගඋත්තකරුවන්ට අවසාන වරට නැවත නොතිසි නිකුත්කිරීමට ද නියෝග කළහ.

 එම නඩුව ලබන 4 වැනිදා යළි කැඳවීමට නියමිතය. එකී අලි පැටවා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට මැදිහත් වූ ශ්‍රී ලංකා බුරුම තානාපති කාර්යාලය ද එකී කෲර වධහිංසා සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවත් අවිහිංසාව මත පදනම් වූ බෞද්ධ දර්ශනයට එකී ක්‍රියාවන් සපුරා පටහැනි බවත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, පොලිස්පතිවරයා හා එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනුකර තිබූ එම පෙත්සම මගින් පෙත්සම්කරු අධිකරණයට කියා ඇත.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top