අලවතුගොඩ මිනීමරුවාගේ ඔත්තුව දුන්නේ ගොයම් ගහක්

collage

මහනුවර, අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි රූමත් කාන්තාවක ඝාතනය කර සිරුර කුඹුරේ මඬේ ඔබා ඒ මතින් ගොයම් පැළ සිටුවන ලදැයි කියන හමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමට මඟපෑදුණේ ගොයම් පැළ දෙකක් ඉව කිරීමට දීමෙන් පසුව පොලිස් නිල සුනඛ ‘ඒගල්’ දුන් හෝඩුවාවක් මත බව මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසය පවසයි.

රූමත් කාන්තාව මරා දැමීමෙන් පසුව ඇයගේ සිරුර මත ගොයම් පැළ සිටුවා තිබූ බව පරීක්ෂණවලින් හෙළිවීමෙන් පසුව එම ගොයම් පැළවලින් දෙකක් පොලිස් නිල සුනඛයාට ඉව කිරීමට සලස්වා ඇත ගොයම් පැළ දෙකට ඉව කළ පොලිස් නිල සුනඛයා මඩ ගොහොරු මැදින් කඳු හෙල් තරණය කරමින් කිලෝමීටර් හතරක පමණ දුෂ්කර ගමනක් ගොස් සැකකරුගේ නිවසට ඇතුළු වූ බව පොලිස් නිල සුනඛ කොට්ඨාසය වැඩිදුරටත් කියයි.

මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් බී.ජී. ජයරත්න42320මහතා පොලිස් නිල සුනඛයා මෙහෙය වූයේය.  එම කොට්ඨාසයේ උපපොලිස් පරීක්ෂක චන්ද්‍රවංශ පෙරේරා මහතා මෙහිදී අධීක්ෂණ නිලධාරී ලෙස කටයුතු කර ඇත. පොලිස් නිල සුනඛ ‘ඒගල්’ මෙහෙයවූ පොලිස් කොස්තාපල් බී.පී. ප්යරත්න මහතා සැකකරු කොටුකර ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරමින් මෙසේ පැවසීය.

collagess

“මෙම කාන්තාවගේ මළසිරුර කුඹුරේ මඩ වගුරේ ඔබා ඒ මතින්  ගොයම් පැළ සිටුවා තිබෙන බව අලවතුගොඩ  පොලිසිය පරීක්ෂණ පවත්වා දැනුම් දී තිබුණා. ඒ අනුව ගොයම් පැළ දෙකකට පොලිස් නිල සුනඛයාට ඉව කිරීමට සැලැස්සුවා. ගොයම් පැළ දෙකට ඉව කළ පොලිස් නිල සුනඛයා මාවත් ඇදගෙන කුඹුරේ මඩ ගොහොරුවේ ඉදිරියටම ගමන් කළා. කුඹුරෙන් ගොඩ වූ පොලිස් නිල සුනඛයා මාවත් ඇදගෙන තේ වතු මැදින් කඳු පල්ලම් බසිමින් ඉතා දුෂ්කර ගමනක නිරතවෙමින් කිලෝමීටර් හතරක පමණ දුරක් ගෙවා නිවස පිහිටි ගෙවත්තට ඇතුළු වුණා. පසුව එම නිවස ඉදිරිපිට සිටි එක් පුද්ගලයකුට ඉව කළ පොලිස් නිල සුනඛයා නිවස වටා එක් වරක් කැරකී නිවස තුළට ඇතුළු වුණා. මාවත් ඇදගෙනම එම නිවසේ කාමරයකට  ඇතුළු වී එහි තිබූ ඇඳට ඉව කර ඇඳ ළඟ බිම වාඩි වුණා”.

“අලවතුගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එම නිවසේ සිටි යුද හමුදාවේ සෙබළකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා. එම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් නිල සුනඛයා දුන් ඉව අනුවයි. පොලිස් නිල සුනඛයා ගෙවත්තට ඇතුළු වූ අවස්ථාවේ ඉව කළේත් මෙම සැකකරුට බව” ද ජයරත්න මහතා වැඩිදුරටත් ද කීය. මෙම පොලිස් නිල සුනඛ ‘ඒගල්’ මීට පෙර අවස්ථා ගණනාවකදී ද අපරාධමය සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගැනීමට හෝඩුවාවන් සපයා ඇති දක්ෂ පොලිස් නිල සුනඛයකු බව මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසය කියයි.

එම පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාංචන ගොඩකුඹුර, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ පොලිස් අධිකාරී අනුර දෙල්ගහපිටිය සහ එම කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කොලුගල යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයවීම ක්‍රියාත්මක කර ඇත. මෙසේ ඝාතනය කර ඇත්තේ අලවතුගොඩ, විලාන, පල්ලේගම, ඇල්ලේකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි ධනුකා මධුවන්ති නමැති 26 හැවිරිදි විවාහක කාන්තාවකි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය 

4 1
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top