කොටහේනේදී ඊයේ වෙඩි කෑවේ ඉන්දීය අත්අඩංගුවේ සිටින පූකුඩිකන්නාගේ ගෝලයෙක්! වෙඩි තිබ්බේ කංජිපානිගේ පැත්තෙන්? වෙඩි 3ක් වැදී තිබියදීත් කිලෝමීටර් 4ක් කාර් එක එලවගෙන ඉස්පිරිතාලෙටම ගිහින්! කාර් එකයි පොලිසියයි අතරත් අමුතු සම්බන්ධයක්!

underworld activity

පාකිස්තානු අන්තවාදීන් සමඟ එක්ව ඉන්දියාවේ සිට එල්ටීටීඊයට පණ දෙන්නට ගොස් ඉන්දියානු ආරක්ෂක අංශ අත්අඩංගුවේ රඳවාගෙන සිටින පූකුඩුකන්නා නමැති පාතාල අපරාධකරුගේ ගෝලයකුට ඊයේ (18) සවස 1.30ට පමණ කොටහේනේදී වෙඩි තබා තිබේ.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි රවීන්ද්‍රන් තීපන් නමැති ඔහුට වෙඩි තබා ඇත්තේ යතුරුපැදියකින් මෝටර් රථය හඹාගෙන පැමිණි ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු විසින් බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත.

කොටහේන 06 වැනි පටුමඟේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර මෝටර් රථයේ ඔහු සමඟ තවත් අයකු ගමන් කරමින් සිට ඇති බව පොලිසිය කියයි. මෝටර් රථය පදවා ඇත්තේ වෙඩි ප්‍රහාරයට ලක්වූ අය බවත් ඊට යාබද අසුනේ සිට ඇත්තේ උදයන් නමැති අයකු බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

තීපන් නමැත්තාගේ උරහිසට, කන අසලට සහ උදරයට වෙඩි තුනක් වැදී ඇති බවත් වෙඩි ප්‍රහාර හමුවේ ඔහු කිලෝමීටර 04ක් පමණ මෝටර් රථය පදවාගෙන කොළඹ ජාතික රෝහලටම පැමිණ තිබෙන බවත් පොලිසිය කියයි.

රෝහලට පැමිණි ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

තීපන් ගමන් කරමින් සිටි මෙම මෝටර් රථය කාලයක් තිස්සේම පරිහරණය කර ඇත්තේ කොටහේන පොලිසියේ සේවයේ නිරතව සිටින උප පොලිස් පරීක්ෂකවරයකු බවට තොරතුරුද පොලිසියට ලැබී ඇත.

කොටහේන පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෝටර් රථය අසලම මෙම මෝටර් රථය නතර කර තිබෙනු කොටහේන පොලිසියේ නිලධාරීන්ට සුලභ දසුනක් බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙම මෝටර් රථය පැදවූ උප පොලිස් පරීක්ෂකවරයාගේ චර්යාව ගැන පහළ නිලධාරීන් අවස්ථා කිහිපයකදීම සිය උසස් නිලධාරීන්ව දැනුම්වත් කර ඇති බවද පොලිස් තොරතුරු සඳහන් කළේය.

මෙම වෙඩි තැබීම කුඩු සෙල්විගේ පුතාගේ කණ්ඩායමක් විසින් කංජිපානි ඉම්රාන්ගේ අවශ්‍යතා මත සිදු කර ඇති බවට සැකයක් ද මේ වන විට පාතාල අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම් වෙත ලැබී තිබේ.

කංජිපානි ඉම්රාන්ගේ පියාව කපා කොටා තුවාල කිරීමට පළි ගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැකයක්ද මතුවී තිබේ.

කංජිපානි ඉම්රාන්ගේ පියාව පසුගිය 2020 වසරේ ජුනි 17 වැනිදා මාළිගාවත්ත සද්ධර්ම මාවතේදී කපා කොටා ඝාතනය කිරීමට තැත් කරනු ලැබීය.

එම ප්‍රහාරයට සම්බන්ධ දෙදෙනකු මේ වන විට ඝාතනය වී ඇති අතර තවත් දෙදෙනකු වෙඩි ප්‍රහාරයන්ට ලක්ව තුවාල ලබා ඇත.

පූකුඩිකන්නාගේ කොන්ත්‍රාත්තුවට අනුව කංජිපානිගේ පියාට ප්‍රහාරය එල්ලවී තිබුණි.

ඊට ඊයේ වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාගේද සම්බන්ධයක් ඇතැයි කියැවෙන බව පාතාල අපරාධ මර්දන පොලිස් කණ්ඩායම් සඳහන් කරයි.

ගයාන් කුමාර වීරසිංහ

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top