තමාට එල්ලවූ ‘අනපේක්ෂිත දරුණු ප්‍රහාරය’ ගැන සල්මාන් රුෂ්ඩි පළමුවරට කතා කරයි

128535766 salman2

(1988 දී ‘ද සේටැනික් වර්සස්’ කෘතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශ්‍රීමත් සල්මාන්ට වසර 10කට ආසන්න කාලයක් සැඟවී සිටීමට සිදුවිය)

පසුගිය වසරේ නිව් යෝර්ක් නුවර පැවති උත්සවයක දී පිහි ඇනුමකට ලක්වීම පිළිබඳව සල්මාන් රුෂ්ඩි පළමුවරට අදහස් පළකර තිබේ.
‘ද නිව් යෝකර්’ (The New Yorker) සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රුෂ්ඩි කියා සිටියේ ඔහු, “වාසනාවන්තයෙක්… මට දැනෙන ප්‍රබල ම හැඟීම කෘතඥතාව යි” යනුවෙනි.
මෙම සම්මානලාභී නවකතාකරු අගෝස්තු මාසයේ දේශනයක් ඉදිරිපත් කිරීමට සැරසෙමින් සිටිය දී වේදිකාව මත දී ප්‍රහාරයට ලක්වූ අතර සති හයක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීය.
පසුව ඔහුට එක් ඇසක පෙනීම අහිමිවිය. 1988 වසරේ දී පළවූ ඔහුගේ ‘ද සේටැනික් වර්සස්’ (The Satanic Verses/’සාතනික පැදි’) නවකතාව හේතුවෙන් රුෂ්ඩි දිගුකලක් තිස්සේ මරණ තර්ජනවලට මුහුණ දී තිබේ.
ඩේවිඩ් රෙම්නික් සමග සිදුකළ පුළුල් සංවාදයේ දී නවකතාකරු මෙසේ පැවසීය: “මම මීට වඩා හොඳින් ඉඳලා තියෙනව. ඒත් වෙච්ච දේ ගැන හිතලා බලද්දී, මේක ඒ තරම් නරක නැහැ.”
“ලොකු තුවාල හොඳවෙලා තියෙන්නේ. මට මගේ මාපටැඟිල්ල, දබරැඟිල්ල සහ අල්ලේ පහළ කොටසට දැනීම තියෙනවා. මම අතට තෙරපි ගොඩක් කරනවා. මට කියලා තියෙන්නේ, මම හොඳින් සුව අතට හැරෙනවා කියලා.”
නමුත් ඇතැම් ඇඟිලි තුඩුවල ඇති සංවේදනයේ මඳබව නිසා යතුරුපුවරුව භාවිත කිරීමට සහ ලිවීමට අපහසු බව ඔහු ප්‍රකාශ කළේ ය.
“මට නැගිටලා ඇවිදින්න පුළුවන්. මම හොඳින් කියලා කිව්වට මම අදහස් කරන්නේ, මගේ ශරීරයේ නිතර පරීක්ෂා කරන්න ඕන කොටස් තියෙනවා කියන එක. ඒක හිතාගන්නවත් බැරි තරම් දරුණු ප්‍රහාරයක්”

ප්‍රහාරය තමාට මානසිකව බලපා ඇති බවත්, දශක දෙකකට වැඩි කාලයක් ආරක්ෂාවක් නොමැතිව ජීවත්වූ තමාට ආරක්ෂාව පිළිබඳව නැවත සිතා බැලීමට සිදුවී ඇති බවත් ඔහු පැවසීය.

“PTSD කියලා දෙයක් තියෙනවා, ඔයා දන්නවනේ ,” ඔහු පැවසීය. “ඒක නිසා ලියන එක මට සම්පූර්ණයෙන්ම වගේ දුෂ්කර වෙලා තියෙන්නේ. මම ලියන්න වාඩි වෙනවා, ඒත් මුකුත් වෙන්නේ නෑ. මම ලියනවා, ඒත් ඒක හිස් බවින් පිරුණු වැඩකට නැති දේවල්වල එකතුවක්. මම ලියන ඒවා ඊට පහුව දා මකලා දානවා. ඇත්තට ම, මම තාම ඒ කැලෙන් එළියට ඇවිල්ලා නෑ”

ඔහුට පිහි ඇනුම සිදු කළබවට සැක කෙරෙන හේදි මටාර් නමැති පුද්ගලයාට මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ චෝදනාව එල්ලවී තිබේ.

1988 දී ‘ද සේටැනික් වර්සස්’ කෘතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රුෂ්ඩිට වසර 10කට ආසන්න කාලයක් සැඟවී සිටීමට සිදුවිය.

බොහෝ මුස්ලිම් ජනතාව ඊට ප්‍රකෝපකාරී ලෙස ප්‍රතිචාර දැක්වූ අතර, එහි මුහම්මද් නබිතුමා නිරූපණයකර ඇති ආකාරය ඔවුන්ගේ ආගමට අපහාසයක්බවට තර්ක කළහ.

ඔහුට මරණ තර්ජන එල්ලවූ අතර එවකට ඉරාන නායක අයතුල්ලා රුහොල්ලා කොමේනි, රුෂ්ඩි ඝාතනය කිරීම සඳහා ‘ෆාත්වා’, එනම් නියෝගයක්, නිකුත් කළේ කතුවරයාගේ හිස ගෙනැවිත් දෙන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන තුනක ත්‍යාගයක් පිරිනමන බව පවසමිනි.
ෆාත්වා නියෝගය සක්‍රීයව පවතින අතර, ඉරාන රජය කොමේනිගේ නියෝගයෙන් ඈත්වී ඇතත්, නිල පදනමක් බව කියන ඉරාන ආගමික පදනමක් 2012 වසරේ දී ත්‍යාගය සඳහා තවත් අමෙරිකානු ඩොලර් 500,000ක් එකතු කළේ ය.
මීට පෙර වසර කිහිපයක් සැඟවී දිවිගෙවූ තමන් 2000 වසරේ නිව් යෝර්ක් වෙත ගිය පසු මීට වඩා ප්‍රවේසම් විය යුතුව තිබුණේයැ යි සිතන්නේ ද යනුවෙන් රෙම්නික් ඔහුගෙන් ඇසුවේ ය.
“මම ඒ ප්‍රශ්නය මගෙන් ම අහනවා, ඒත් ඒකට උත්තරය මම දන්නේ නෑ,” ඔහු පැවසීය. “මට ජීවිතයේ අවුරුදු 20කට වඩා තිබුණා. ඉතින් ඒක වැරදීමක් ද? අනික මම පොත් ගොඩක් ලිව්වා.”
රුෂ්ඩිගේ ගේ නවතම නවකතාව වන ‘වික්ටරි සිටි’ (Victory City), ප්‍රහාරයට කෙටි කලකට පෙර ලියා අවසන් වූ අතර එය මෙම සතිය අග දී ප්‍රකාශයට පත්කෙරෙයි.
“වින්දිතයෙකුගේ භූමිකාව රඟනොපා ඉන්න මම හැම වෙලාවෙ ම දැඩි උත්සහයක් ගත්තා,” ඔහු පැවසීය.” එතකොට ඔයා නිකන් ඉඳගෙන කියනවා, ‘කවුරුහරි මට පිහියකින් ඇන්නා! අසරණ මම’ කියලා… මට සමහර වෙලාවට එහෙම හිතෙනවා!”
“ඒත් මම නොහිතන දේ තමයි: ඒක තමයි මට පොත් කියවන මිනිස්සුන්ට හිතන්න සලසන්වන්න ඕන. මට ඕනේ ඔවුන් කතාවට නතුවෙලා උද්දාමයට පත්වෙන්න.”

128536208 sr victorycity
ඉතිහාසය වෙනස් කරන දිව්‍යමය හමුවකට මුහුණදෙන නවහැවිරිදි දැරියක ගැන ‘වික්ටරි සිටි’ කෘතිය ලියැවී ඇත
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top