ශවේන්ද්‍ර සිල්වාට දැඩි චෝදනාවක් – CID පරීක්ෂණ අරඹන්නැයි කරන්නාගොඩ කමිටුව කියයි..! | මැයි 9 වැනිදා හා මැයි 10 වැනිදා ප්‍රහාර වළක්වා ගැනීම සඳහා ආරක්‍ෂක භට කණ්ඩායම් කැඳවා ත්‍රිවිධ හමුදා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා හා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රමාණවත් දායකත්වයක් දක්වා නොමැති බව…

shavendra silva

පසුගිය මැයි 9 වැනිදා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් ගාලුමුවදොර ගෝඨාගෝගම අරගල භූමියට කඩාවැදී සිදුකළ අමානුෂික ප්‍රහාරවලින් අනතුරුව විවිධ පුද්ගලයන් විසින් සිදුකළ අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන්ගේ නිවාස හා දේපළ ගිනි තබා විනාශ කිරීම් වළක්වා ගැනීමට නිසි පියවර නොගත් ත්‍රිවිධ හමුදා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා, පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන, කෝකිලා ගුණවර්ධන හා ගාමිණි ලොකුගේ ඇතුළු 39 දෙනෙකු ගොනු කර ඇති පෙත්සම විරෝධතා ගොනු කිරීම සඳහා ලබන මැයි 22 වැනිදා දක්වා කල්තැබීමට ඊයේ (24දා) අභියාචනාධිකරණය නියෝග කළේය.

මැයි 9 වැනිදා හා මැයි 10 වැනිදා රටපුරා සිදුවූ දේශපාලනඥයන් ඇතුළු පිරිසකගේ නිවාස හා දේපළ විනාශ කිරීම් සිදු වූයේ ආරක්‍ෂක හමුදා හා රාජ්‍ය බුද්ධි අංශවල අඩු ලුහුඩුකම් නිසා දැයි සොයා බලා වාර්තා කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පත්කළ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුව නිකුත් කළ නිර්දේශ වාර්තාවේ පිටපතක් ඊයේ (24දා) අධිකරණයට භාරදෙනු ලැබීය.

එවැනි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා යෙදවිය හැකි පොලිස් විශේෂ කාර්ය බළකායේ හා ත්‍රිවිධ හමුදාවල පුහුණුවලත් ආරක්‍ෂක භට කණ්ඩායම් කැඳවා ඒවා වළක්වා ගැනීමට වැඩබලන ත්‍රිවිධ හමුදා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා හා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රමාණවත් දායකත්වයක් දක්වා නොමැති බවත්, එබැවින් ඔහුට එරෙහිව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් සිදුකළ යුතු බවත් වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉහලහේවා මහතා මගින් අධිකරණයට ඉදිරිපත් කළ එම කමිටු වාර්තාව මගින් නිර්දේශ කොට ඇතැයි ද අධිකරණයේදී අනාවරණය විය.

පෙර නඩු දිනයේදී නිකුත් කළ නොතිසි අනුව එම නඩුවේ විත්තිකරුවන් සියලුදෙනා වෙනුවෙන් නීතිඥවරු පෙනී සිටියහ. සිය සේවාදායකයා වෙනුවෙන් ලිඛිත විරෝධතා නොව ලිඛිත ප්‍රකාශ අධිකරණය හමුවේ ගොනු කිරීමට අපේක්‍ෂා කරන බව හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා මහතා අධිකරණයට දැනුම් දුන්නේය. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ රුක්ෂාන් සේනාධීර මහතා සමග ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top