ශ්‍රී ලංකාවේ භූ කම්පන ඉතිහාසය | අතිතයේ මෙරට සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා | භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න

earthquake history srilanka

ඉතිහාසයේ මෙරට සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් ඇති බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

ආසන්න දින කිහිපයකදීම මෙරට එකම කලාපයෙන් භූ චලන වාර්තා වීම පිළිබඳ කළ කරුණු විමසීමකදී භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා,

“ත්‍රිකුණාමලයේ ඉඳලා ලංකාවේ මධ්‍යම කඳුකරයට දකුණින් තියෙන පහත් කලාපය අතරතුර තියෙනවා රේඛාවක්. ඒ කලාපය විශ්වාස කරන්නේ භූමි ප්‍රදේශයක් හරහා ගමන්කළ තල මායිමක් කියලා. අද ඒක අක්‍රීයයි. එතකොට මේ අවට තමයි ලංකාවේ සිදුවන සියලු භූ කම්පන වාර්තාවෙන්නේ. ලංකාවේ භූ කම්පන සිතියම ගත්තොත් ඒ සිතියමේ තියෙනවා විශාල භූ කම්පන සිදුවූ බවට වාර්තා. ඒ කියන්නේ 1615දී වගේ භුමි කම්පාවක් සිදුවෙලා තියෙනවා කොළඹ ප්‍රදේශයේ. මිනිස්සු 2000ක් මැරිලා තියෙනවා. පසුගිය අවුරුදු 20ක හා 30ක් කාලයේ කරපු පර්යේෂණවලින් පේන්නේ භූමි කම්පා සාමාන්‍යයෙන් මේ ප්‍රදේශවල කම්පන සිදුවෙන්න පුළුවන් 3.5ක සහ උපරිම 4 වගේ දක්වා කම්පන සිදුවෙන්න පුළුවන් බවයි.”

බුත්තල ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක ආසන්න දින කිහිපයකදීම භූ චලන සිදුවීම රටේ කතාබහක් ඇති කළ මාතෘකාවක් බවට පත්වුණි.

ආසන්නතම පළමු සිදුවීම වාර්තාවූයේ පසුගිය 10 වනදාය. 

මොනරාගල, බුත්තල, වැල්ලවාය, කුඹුක්කන සහ ඔක්කම්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකින්ම එදින දහවල් 12.11 ට පළමු භූ චලනය වාර්තා වුණි.

එහි අගය දැක්වුණේ රික්ටර් මාපාංක 3 ක් ලෙසය.

ඉන් විනාඩි තුනකට පසුව එනම් දහවල් 12.14 ට ද තවත් භූ චලනයක් සිදුවූ අතර එය සටහන් වූයේ රික්ටර් මාපාංක 3.5 ක් ලෙසින් වාර්තා විය.

එම භූ චලනය නිසා බුත්තල, උනාවටුන බෞද්ධාලෝක මහ පිරිවෙන් විහාරස්ථානයේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොතෙහි කොටසක් ද කඩා වැටුණි.

එම භූ චලන ද්විත්වය සිදුවී පැය 24 ක් ගතවීමටත් පෙර පසුගිය 11 වැනිදා අලුයම 3 ට පමණ වැල්ලවාය නැගෙනහිර ප්‍රදේශයේ පොළව අභ්‍යන්තරයේ රික්ටර් මාපාංක 2.3 ක සුළු භූ කම්පනයක් සිදුවූ බවට වාර්තාවුණි. 

ඉන් දින 11කට පසු අද පෙරවරු 11.44 ට ද යළිත් බුත්තල සහ වැල්ලවාය අතර කලාපයේ තවත් භූ චලනයක් වාර්තාවුණි. 

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළ පරිදි එහි අගය රික්ටර් මාපාංක 3.3කි.

මේ අතර භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය යළිත් පවසන්නේ මෙම භූ චලන පිළිබඳ ජනතාව අනියත බියක් ඇතිකරගත යුතු නැති බවය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top