අයිඩියල් මෝටර්ස් දේශීයව නිපදවූ ATV රථ ශ්‍රී ලංකා නාවික හමුදාවට…

moter rathyak navika hamudawata

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරයින් බළකායේ ගොඩබිම් හා මුහුද ආශ්‍රිත මෙහෙයුම් කටයුතු සඳහා රළු මාර්ගවල ගමන් කිරීමේ හැකියාව සහිත, යුද කටයුතු සඳහා භාවිත කළ හැකි ‘කොම්බැට් ඕල්ටරේන් වෙහිකල්’ (Combat All Terrain Vehicle) රථ පෙළක් දේශීය තාක්‍ෂණයෙන් නිෂ්පාදනය කර ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත බාරදීම පසුගියදා සිදු විය.

ආරම්භයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරයින් බළකායේ අවශ්‍යතාව සඳහා මෙයින් රථ තුනක් නිෂ්පාදනය කර බාරදීම පසුගියදා සිදු විය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාහන නිෂ්පාදන සහ එකලස් කරන සමාගමක් වන අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගම ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගමේ (Mahindra and Mahindra – India) තාක්‍ෂණික දායකත්වයෙන් මෙම ATV රථ දේශීයව නිෂ්පාදනය කර ඇති අතර, මේ සඳහා එන්ජිම, ගියර් පද්ධතිය සහ චැසි පද්ධතිය ඉන්දියාවේ මහින්ද්‍රා සමාගම මගින් ලබාගෙන ඇත.

අනිකුත් සියලුම යෙදවුම් සහ වාහන නිර්මාණය දේශීය ඉංජිනේරුවන් අතින් නිමවා සකස් කර ඇති මෙම රථය ඕනෑම රළු මාර්ගයක ගමන් කළ හැකි බව පරීක්‍ෂණ ධාවනවලින් තහවුරු වී ඇතැයි අයිඩියල් මෝටර්ස් සඳහන් කරයි.

 මෙම එක් වාහනයක් ශ්‍රී ලංකාවට ආනයනය කරන්නේ නම් රුපියල් මිලියන 20ක පමණ මුදලක් වැය වන අතර දේශීයව නිෂ්පාදනය කළ මෙම වාහනය රුපියල් මිලියන 8කට ආසන්න මුදලකට ලබාදිය හැකි බව අයිඩියල් මෝටර්ස් සමාගම සඳහන් කරයි. මෙම වාහන සඳහා වසර තුනක වගකීමක් අයිඩියල් මෝටර්ස් සමාගම විසින් ලබාදෙන අතර ධාවනයේදී ඇතිවන කිසියම් ගැටලුකාරී තත්ත්වයන්ට පැය 24 පුරා ක්‍රියාත්මක ආපදා සේවයක් අයිඩියල් මෝටර්ස් මගින් ක්‍රියාත්මක කරනු ඇත.

මෙම රථ විශේෂයෙන් වෙරළ ආශ්‍රිත අවේක්‍ෂණ කටයුතු සහ ගොඩබිම ආශ්‍රිත වනාන්තර යාබද අවේක්‍ෂණ කටයුතු සඳහා නාවික හමුදාව භාවිත කිරීමට නියමිතය. 

ඉදිරියේදී ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශයන් වෙත අවශ්‍ය මෙවැනි විශේෂිත වාහන නිෂ්පාදනය කිරීමට දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර මෙමගින් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශවල විශේෂ වූ අවශ්‍යතාවන් පරිදි දේශීයව නිෂ්පාදනය කරන වාහන හඳුන්වාදීමට කටයුතු කරනු ඇත. එමගින් වර්තමාන අසීරු ආර්ථික අවස්ථාවලදී මෙවැනි වාහන ආනයනය කිරීමට වැයවෙන විදේශ විනිමයන් රට තුළ ආරක්‍ෂා කර ගැනීමට අවස්ථාව සැලසෙන අතර, දේශීය කර්මාන්ත නගාසිටුවීමටද ඉමහත් පිටුවහලක් වනු ඇත.

595

ඡායාරූපය

image ca0ecd9a6c

අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම, අධ්‍යක්‍ෂ චමින්ද වනිගරත්න යන මහත්වරුන් විසින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා වෙත ‘කොම්බැට් ඕල්ටරේන් වෙහිකල්’ රථ  නිල වශයෙන් බාරදුන් අයුරු ඡායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට එක්වූ නාවික හමුදාවේ රියර් අද්මිරාල් පී.ඒ.ජේ.එන්. පොන්නම්පෙරුම, රියර් අද්මිරාල් ආර්.ඒ.පී.පී. රත්නායක, කොමදෝරු ඩී.එස්.පී.කේ. ද සිල්වා, නාවික හමුදා මැරයින් බළකායේ අධ්‍යක්‍ෂ කොමදෝරු පී.එස්.කේ. පිටිගල යන මහත්වරු ද ඡායාරූපයේ වෙති.

image 780c4bb1e0
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top