ජනපති රනිල් වික්‍රමසිංහට එරෙහි උපාලි අබේරත්න කොමිසම් නිර් දේශ ගැන නීතිපති කළ ඉල්ලීම | කොමිසමේ නිර් දේශ බලරහිත කරන ලෙස ඉල්ලා රනිල් වික්‍රමසිංහ විසින් ගොනුකළ රිට් පෙත්සමක්…

ranil wickramasinghe reet

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලූ ජනාධිපති කොමිසම විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව සිදුකර ඇති නිර්දේශ සම්බන්ධයෙන් ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා සති දෙකක කාලයක් ලබාදෙන ලෙස නීතිපතිවරයා ඉයේ (25) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අදාළ කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනුකළ රිට් පෙත්සමක් නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී. එම්. සමරකෝන් සහ ලෆාර් තාහිර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුට එරෙහිව අදාළ කොමිසම විසින් සිදුකර ඇති නිර්දේශ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාගෙන් උපදෙස් විමසා දැනුම්දීම සඳහා සති දෙකක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට අවසර ලබාදුන් අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල පෙත්සම නැවත පෙබරවාරි මස 8 වනදා කැඳවන ලෙස නියෝග කළේය.

එදින පෙත්සම්කරුට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගයය අධිකරණයට දැනුම්දෙන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට දැනුම් දුන්නේය.

පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණය හමුවේ කියා සිටින්නේ කිසිදු සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා තමන්ට එරෙහිව නිර්දේශ නිකුත් කිරීමට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසම ගත් තීරණය නීතියට පටහැනි බවය.

ඒ අනුව තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බලරහිත කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙසත් වික්‍රමසිංහ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top