පහළොස් වියැති දැරිය එක්ක පවුල් කා කුලියාපිටිය බස් නැවතුම්පොළේ දමා ගිහින්

child rape

කොළඹට නුදුරු ප්‍රදේශයක පදිංචි පහළොස් හැවිරිදි දැරියක වසර එක හමාරක පමණ කාලයක් තිස්සේ නිවසේ තබාගෙන අඹුසැමියන්  ලෙස ජීවත් වී පසුව එම දැරිය කුලියාපිටිය බස් නැවතුම්පොළේ දමා ගිය ඇගේ පෙම්වතා බවට සැලකෙන තරුණයෙක් කුලියාපිටිය මූලස්ථාන පොලිසිය විසින් පෙරේදා (20) අත්අඩංගුවට ගනු ලැබීය. බාලවයස්කාර දැරියක මවුපියන්ගේ භාරකාරයත්වයෙන් අපහරණය කර ඇය දූෂණය කළේ යැයි කියමින් මෙම  තරුණයා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

මේ සඳහා ආධාර අනුබල දුන්නේ යැයි කියමින් එම තරුණයාගේ මවුපිය දෙදෙනා ද කුලියාපිටිය  පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහුගේ මවුපියෝ කුලියාපිටිය පොලිස් වසමට අයත් කනදුල්ල වීරඹුව ප්‍රදේශයේ පදිංචි අය වෙති. මෙම බාලවයස්කාර දැරියගේ ජංගම දුරකථනයට ලැබුණු බව කියන මිස් කෝල් එකකින් දැන හඳුනාගත් බව කියන කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා සමග ඇය පසුව ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන ඇතැයි පොලිසිය පවසයි.

තම දියණිය නිතර කිසිවකු සමග ජංගම දුරකථනයෙන් කතාබහ කිරීම ගැන මව ඇයට බැණ වැදී අවවාද කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.  මව බැණවැදීම නිසා උරණ වූ මෙම දැරිය කලින් කතා කරගත්  අන්දමට හොර රහසේ නිවෙසින් පලාගොස් බස් රථයක නැගී කුලියාපිටිය බස් නැවතුම්පොළට 2021 වසරේ ජූලි මාසයේ දිනක පැමිණ ඇතැයි පොලිසිය කියයි. ජංගම දුරකථනයෙන් කතාබහ  කර හඳුනාගත් මීට පෙර කිසිදු දිනක නොදුටු  පෙම්වතා බස්නැවතුම් පොළට යතුරුපැදියකින් පැමිණ දැරිය රැගෙන ඔහු පදිංචිව සිටින නිවෙසට කැඳවාගෙන ගොස් ඇත. පෙම්වතා  බව කියන තරුණයාගේ මවුපියන්ගේ ආශිර්වාදය ඇතිව දෙදෙනා අඹුසැමියන් ලෙස එතැන් පටන් ජීවත්ව ඇතැයි කියති.  මෙසේ දැරිය සමග අඹු සැමියන් ලෙස ජීවත් වෙන අතරවාරයේ ඇගේ පෙම්වතා වෙනත් තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

මේ බව දැනගත් මෙම බාලවයස්කාර දැරිය පෙම්වතා සමග නිතර ආරවුල් ඇතිකරගෙන ඇති  බවද පොලිසිය සඳහන් කරයි. බාලවයස්කාර දැරිය යතුරුපැදියක නංවාගත් පෙම්වතා ඇය කුලියාපිටිය  බස්නැවතුපොළට ගෙනැවිත් දමා ගොස් ඇති බවත් තමා මාස කිහිපයකින් නැවත රැගෙන යෑමට එන බව පවසා  බස්නැවතුම්පොළේ දමා ගොස් ඇතැයි දැරිය පවසන බවත් පොලිසිය කියයි. දැරිය බස් රථයක නැග කොළඹ ප්‍රදේශයේ ඇයගේ  නිවසට ගොස් ඇත.  මෙසේ නිවසේ සිටින අතරවාරයේ දැරිය ඇගේ පෙම්වතාට  දුරකථන ඇමතුමක් දී ඇති අතර ඊට කතා කරනු ලැබ ඇත්තේ තරුණියක විසිනි. එම ඇමතුමට පිළිතුරු දුන් තරුණිය දැරිය සමග පවසා ඇත්තේ තමා තම පෙම්වතා  සමග විවාහ වී විදෙස්ගත වීමට යන බවය. බාලවයස්කාර දැරිය ඒ බව ඇගේ මවට පවසා පසුව ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.  සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාගත් අවස්ථාවේ දැරිය මෙම තොරතුරු සියල්ල හෙළි කළ බව පොලිසිය පවසයි. පෙම්වතා තමා සමග  අඹුසැමියන් ලෙස සිටින අවස්ථාවේ ලබාගත් වීඩියෝ දර්ශන ද ඔහු සතුව තිබෙන බව දැරිය පවසන්නේ යැයි පොලිසිය සඳහන් කරයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

(උඩ චායාරුපය මෙයට සම්බන්ද නෑත)

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top